අත දීම

2017-02-23 10:37:00       729
feature-top
මම පිළියන්දලින් පෞද්ගලික බසයකට ගොඩවීමි.

එය කොළඹ සිට කැස්බෑව බලා යන්නකි.

බසය බස් නැවතුම්පළට නොගොස් අලුත් පාරට හරවා නැවැත්වීය. මගීහු බසින්නට වූහ.

බසිමින් සිටි මගීන් අතර ඇස් පෙනීම හොඳට ම දුර්වල යෞවනයකු සිටි බව මා දැන ගත්තේ රියැදුරු මගියකුට කළ ආයාචනයෙනි.

‘අර ළමයගෙ ඇස් පේන්නෙ නෑ. එයාව පොඩ්ඩක් එහාට එක්කගෙන යන්ඩ පුළුවන්ද?’

මා විමසිලිමත් වූයේ එයිනි. එහෙත් මගියා රියැදුරුගේ බස කනකට නොගෙන යන්නට ගියේ ය.

මට දුක සිතිණි.

ජනේලයෙන් හිස හරවා බැලූ මට දරුවා දුරින් සිටිනු පෙනිණි.

‘පුතා, ඔහොම ඉන්ඩ! මට පුළුවනි පුතා එක්කගෙන යන්ඩ!’ කී මම බඩු මල්ලත්, කුඩයත් ගෙන වහ වහා බසයෙන් බසින්නට වීමි.

මගේ බසින් උද්දාමයට පත් රියැදුරු උස් හඬින් දරුවා අමතා ඔහු නතර කර දුන්නේ ය.

මම වහා දරුවා ළඟට ගොස් ඔහු ගේ අතකින් අල්ලා ගෙන මුහුණ නිරීක්ෂණය කළෙමි. දිගින් දිගට ඇසි පිය ගැසූ ඔහු ගේ දෙතොලට සිනාවක් නැගිණ.

‘පුතා කොහාටද යන්ඩ ඕනැ?’ මම විමසීමි.

‘මට බණ්ඩාරගම බස් හෝල්ට් එකට යන්ඩ ඕනැ’ දරුවා කීවේ ය.

‘යමු. මං ඔයාව බණ්ඩාරගම බස් එකකට ම ඇරලන්නංකො.’

මම ඔහුගේ අතින් අල්ලාගෙන පාරට හැරුණෙමි.

බණ්ඩාරගම බස් නැවතුමට යෑමට කහ ඉරි දෙකක් තරණය කළ යුතු ය. නැවතුම ඇත්තේ ද දෙවැනි කහ ඉරේ සිට මීටර් තුන්සියයක් පමණ ගිය තැන ය.

කහ ඉර මාරු වීමට අදාළ සංඥාව වැටෙන තුරු බලා සිටිය යුතු විය.

‘සර් ගෙදර යන්ඩ! අපිට පුළුවනි මෙයාව බස් එකකට ඇරලවන්ඩ!’ ගැහැනු හඬක් ඇසිණ. මම ආපසු හැරී බැලුවෙමි. ඒ පාර මාරුවීමට පැමිණ සිටි මා හඳුනන ගුරුවරියකි. ඇය සමඟ තවත් තරුණියක් ද සිටියා ය.

මට සතුටක් දැනිණ. එක විදිහට සිතන අය එකට එකතු වූ විට දැනෙන සතුටකි, ඒ,

‘සර්, සිල්ව සර් නේද?’ තරුණිය ඇසුවා ය.

‘ඔව්’ මම ඈ දෙස විමසිල්ලෙන් බැලුවෙමි.

‘සර්, මං සරත් සර්ගෙ දුව’

මගේ සතුට තවත් වැඩි විය. සරත් මගේ හිතවත් විදුහල්පතිවරයෙකි.

‘අනේ දූ මට ඔයාව අඳුරගන්ඩ බැරුව ගියා. දැන් මොකද කරන්නෙ?’

‘මම රත්මලානෙ විද්‍යාලෙක උගන්නනව’ ඇය සිනාසුණා ය.

‘හොඳයි ‍හොඳයි, බොහොම හොඳයි’ මගේ සතුට උතු‍රා ගියේ ය.

නියමිත සංඥාව ලැබිණ.

ඔවුහු යොවුන් දරුවා ද අල්ලා ගෙන කහ ඉර පැන ගියහ.

මම ඔවුන් යන හැටි මොහොතක් බලා සිට සැහැල්ලුවෙන් ආපසු හැරුණෙමි.

පිළියන්දල කැස්බෑවේ, විශ්‍රාමලත්

විදුහල්පති ඩී.සී. ද සිල්වා මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks

More News »