දිවි දිනුම

2017-02-16 11:04:00       724
feature-top
ඒ මුළු රට ම මර බියෙන් ගැහුණු යුගයකි.

මේ කියන රජරට ද ඉන් මිදුණේ නොවේ.

එහි ද ගම්බිම් වැටලිණි. තරුණයන් ඩැහැ ගැනිණි. කඳවුරුවල ගාල් කැරිණි.

දිවා රෑ දෙකෙහි රැකවල් ලූ මේ කඳවුරුවලින් පැන යෑම සිහිනයක් විය.

එහෙත් එක්තරා තරුණයෙක් කඳවුරෙන් පැන ගත්තේ ය.

හොර පාරවල් දිගේ මහ පාරට ආ ඔහු කොළඹ යන බසයකට අත දමා එහි නැඟ කොළඹට පැන ගත්තේ ය.

කොළඹට ආ ඔහු නැවතුණේ එක්තරා තානාපති කාර්යාලයක සිංහල කතා කරන නිලධාරියකු ළඟ ය.

‘අනේ සර් මාව බේර ගන්න!’ තරුණයා ආයාචනා කළේ ය.

නිලධාරීන්ගේ හිත් උණු විය.

වැඩි දවසක් නොගියේ ය. තරුණයා සීතල රටකින් මතු වූයේ ය.

ඔහු ඉදිරියේ පාරක් විය. ඔහු හීතලේ ගැහෙමින් පාර දිගේ ගියේය.

සීතලට වැසී තිබුණු ගෙවල් දොරවල් පහු කරමින් තරුණයා හැරුණු හැරුණු අතේ ගියේය.

සීතලත්, කුසගින්නත්, විඩාවත් නිසා තවදුරටත් ඇවිද ගත නොහුණු ඔහු ගෙයක් ඉදිරියේ නැවතුණේය.

ඒ ගෙයි දොර ද වැසී තිබිණ.

තරුණයා ගැහෙමින් අසරණව වැසූ දොර හැරෙන තෙක් බලා සිටියේය.

පුදුමයකට මෙන් දොර හැරිණ. වියපත් යුවළක් ගෙතුළ සිට ඉදිරියට ආහ.

‘ඔයා කවුද?’ ඔවුහු ඇසූහ. එහෙත් ඒ විදෙස් බස තරුණයාට නොවැටහිණ. නමුත් ඔවුන්ගේ මුහුණේ වූ හැඟීම ඔහුට වැටහිණ. ඔහු දොර ළඟට ගියේය.

යුවළ ඔහු ගෙට ගෙන ඇඟපත පිසදා ඇඟපත උණුසුම් කළෝය.

තරුණයාට තමා ජීවත්වන බව හැඟුණේය. ඔවුහු ඔහුට අහර ද ඇඳුම් ද සුව පහසුව ද සැපයූහ.

වියපත් යුවළ මහත් උනන්දුවෙන් ඔහුගෙන් තොරතුරු විචාළ නමුත් බස නොදන්නාකමින් ඔහුට සියල්ල හරිහැටි පැහැදිලි කර දිය නොහැකි විය. එහෙත් ජීවන අද්දැකීමෙන් පිරිපුන් ඒ යුවළ ඔහු තේරුම් ගත්හ. ඔහුට පිළිසරණ විය යුතු බව දත්හ.

මේ නිවෙසෙහි වෙසෙන්නේ වියපත් යුවළ පමණක් බවත් ඔවුන් ගේ දරුවන් වෙනත් නිවෙස්හි වසන බවත් තරුණයා කෙමෙන් වටහා ගත්තේ ය. ඔහු යුවළට අත්උදවු දුන්නේ ය. නෑව්වේ ය. ගෙදර දොරේ වැඩ කර දුන්නේ ය. කඩේ ගොස් වුවමනා දෑ ගෙන ඒමට පුරුදු වූයේය. කෙමෙන් විදෙස් බස වටහා ගත්තේ ය.

දෙමහල්ලෝ තරුණයා කෙරෙහි පැහැදුණෝය.

වැඩි කල් නොගොස්ම වියපත් යුවළට තරුණයාත් ඔහුට යුවළත් නැතුවම බැරි විය.

තරුණයාගේ අනාගතය යහපත් කළ යුතු යැයි සිතූ ඔවුහු ඔහු ගුවන් නියමු පාඨමාලාවකට යොමු කළහ. එය ප්‍රගුණ කළ ඔහු ටික කලකින් ගුවන් නියමුවකු බවට පත් විය.

කලක් ගියේ ය. වියපත් යුවළ ද මිය ගියහ. යුවළ රැක බලා ගත් ඔහුට එරට නීතියට අනුව බූදලයෙන් අඩක් හිමි විය.

දැන් තරුණයා පරිපූර්ණ ය. පුරවැසිකම ද හිමි ය. රැකියාවක් ද තිබේ. ධනය ද ඔහු සතු ය.

එසේ වුව ද මෙරට සිදු වී තිබුණේ ඊට හාත්පසින් ම වෙනස් දෙයකි.

වසර ගණනාවක් ගතවීත් තම පුතු ගැන ආරංචියක් සොයා ගත නොහැකි වූ මාපියෝ ඔහු මියගියා යැයි සිතා ආගමික වතාවත් ද සිදු කොට ඔහු නැතිව ජීවත්වීමට හිත් හදා ගත්හ.

දිනක් පින් පාටැ’ති තරුණයෙක් මේ ගෙදරට පය ගැසුවේ ය.

‘අම්මෙ, තාත්තෙ මං ආව’ හෙතෙමේ මාපිය පා වැන්දේය.

මාපියෝ සිදු වූ දේ අදහාගත නොහැකිව දෑස් මහත්කොට තරුණයා දෙස බලා සිටියහ.

මේ නම් නැති වූ අපගේ පුත්‍රයාමය. මේ ඔහුගේ මුහුණමය. එය පින් පාටය. ඒ කටහඬමය. හැබැයි එදා තිබූ කෙසඟ සිරුර යස අගේට හොඳින් වැඩී ඇත. එසේ සිතූ මාපියෝ ‘අනේ මගෙ පුතේ’ යි කියමින් ඔහු වැලඳ ගත්හ.

ඔබ සිතුවාක් මෙන් ඔහු ආපසු ගියේ ය. හැබැයි තනිවම නොවේ. මාපියන් ද කැටුව ය.

නොකල්හි එළඹි අකල් මරණයෙන් සියුම් ව බේරී ගත් මේ දිරිමත් පුතු තෙමේ යළිදු ජීවය ලබා තම මාපියනට ද සතුට සැනසුම උදාකර දුන්නේ ය.

මේ උතුම් පුත්‍රයා අද ස්විට්සර්ලන්තයේ ගුවන් නියමුවෙකි.

ගම්පහ නන්ද ප්‍රියන්ත මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

silumina.lk


More News »