දරු පරපුර

2017-02-06 11:22:00       726
feature-top
වාහනය හදා ගැනීමට ගොස් ගරාජයක හිර වී සිටියෙමි.

පාසල ඇරී ආ පුංචි දරු පැටව් ගරාජය ළඟ බස් නැවතුමේ බස් එනතුරු රැඳී සිටියහ. මම ඔවුන් අසලට ගියෙමි.

ඔවුන් බුහුටිය. මගේ ළය මොළොක් විය. අවුරුදු තිස් ගණනක් ගුරුවරයකු හැටියට මෙබඳුම දරුවන් දහස් ගණනකට අකුරු කළ හැටි මතක් විය.

මම මුනිවරයකු මෙන් දරු පිරිස දෙස බලා සිටියෙමි.

මටම නොදැනී මගේ දෑස තෙත් විය.

මම ඊට ඉඩ හැරියෙමි. කඳුළු බිඳු කිහිපයක් වැටිණ. දැන් මට ඉස්සර මෙන් සියුම් සංවේදනා දරා ගත නොහැකි ය.

දරුවන් මවෙත හෙළුවේ ආගන්තුක බැලුම් ය. සිතට දැනුණේ ද රිදුමකි. කාලය වෙනස් වී තිබේ. නන්නාඳුනන අය හා කතා නොකරන්නැයි මාපියන් දරුවනට උපදෙස් දෙති. දරුවෝ ඒ උපදෙස් අකුරට පිළිපදිති.

මට ඉස්සර අප පාසල් ගිය හැටි මතක් විය. පාසල් යන එන විට මඟතොටේදී කතාබහ කළ කා සමඟත් අපි කතා කළෙමු. පයින් ගාටද්දී පිපාසය දැනුණු විට ළඟ පාත ගේකට එබිකම් කොට බොන්නට වතුර ටිකක් ඉල්ලීමු. ඒ අය ද අපට වතුර දුන්නේ කැමැත්තෙනි.

‘ඔය දරුවො කොහෙද?’ දිනක් මාතාවක් වතුර කෝප්පයක් පිරෙන්නට ගෙනැවිත් දෙන ගමන් අපෙන් ඇසුවා ය. අපි ඉසව්ව කීමු.

‘එතකොට ඔය දරුවො කාගෙ කවුද?’ බඩ පිරෙන්නට වතුර බී සිටි අප මාපියන්ගේ නම් ගම් කීවේ කිසිදු පැකිළීමකින් තොරව ය. වැඩිහිටි ඥාතීන්ගේ නම් කී විට මාතාවගේ මුහුණට හිනාවක් නැඟිණ.

‘මේ අපි දන්න කියන අයනෙ’ යි කී ඇය අපට කන්නට පලතුරු වගයක් ද දුන්නාය.

මෙබඳු සබඳතා නිසා අපි සමාජය කෙරෙහි සංවේදී වීමු. එබඳු සබඳතා හේතුවෙන් අපේ අද්දැකීම් ද පුළුල් විය.

ඒ යුගය ගියේ ය. දැන් මා පියෝ පිටස්තරයන් හා කතාබහ නොකරන ලෙස තම දරුවනට කියති. මාපියන් ඒ තත්ත්වයට පත්වීමට හේතු ඇති බැවින් ඊට වරදක් ද කිව නොහැකි ය. කෙසේ වුවත් ඉන් සිදුවන්නේ දරුවන්ගේ සමාජ සබඳතා ජාලය හැකිළී යෑම් ය.

‘පුතාලගෙ බස් එක පරක්කු ද?’ මොකක් හෝ කතා කළ යුතු හෙයින් මම ඇසුවෙමි. වැඩි දෙනා නෑසුණක් මෙන් සිටියහ. එක් කෙනෙක් දෙන්නෙක් හැරී බලා හිස සොලවා යළි පාර දෙස බලා ගත්හ.

ටිකක් පුංචි දරුවෝ පිරිසක් පාරේ එමින් සිටියහ. ඔවුන් ආවේ කහ පාට, රතු පාට, කොළ පාට අයිස් පලම් රස විඳිමිනි.

මම ද ඒ මොහොතෙහි ඔවුන් ගේ ලෝකයට ගියෙමි. මටත් අයිස් පලමක් දෙන්නැයි කියන්නාක් මෙන් ඔවුනට අත පෑවෙමි. ඔවුහු මා නොදුටු ගාණට මා පසු කර ගියහ.

අයිස් පලම්වල ඇති රසකාරක, වර්ණක පොඩි උන්ට හොඳ ද? ඒවා ප්‍රමිතියකට අනුව නිපදවා තිබේ ද? මේවා ගැන හිතීම යනු පොඩි උන් ගැන හිතීම ය. ඊළඟට මගේ නෙත ගැටුණේ බදින ලද මඤ්ඤොක්කා පෙති වගයක් හප හපා එමින් සිටි හොඳට ම පුංචි උන් පිරිසකි. ඔවුන් අතේ මිල දී ගත් පැකට් වගයක් ද තිබිණි.

මම ඔවුනට ද අත පෑවෙමි. ඒ පොඩි දරුවෝ මට එක පෙත්ත බැගින් දුන්හ.

‘ස්තුතියි!’ මම කීමි.

ඔවුහු යන්නට ගියහ.

ඔවුන් හැරි හැරී යන අයුරු බලමින්ම මම අල පෙත්තක් හැපුවෙමි. ‘කරස්’ ගා හැපිණ. තද ලුණු රසයක් ද මිරිස් සැරක් ද දැනිණ. මෙබඳු අල පෙති බදින විට තෙල් තාච්චියට හිස් ප්ලාස්ටික් බෝතලයක් දමා එය දියවීමට හරින බව මා අසා තිබේ. පොඩි උන්ට මේවා කෑමෙහි ආදීනව කියා දිය යුතු ය. ඒ වගකීම ඇත්තේ මා බඳු ආගන්තුකයන්ට නොව ඒ දරුවන්ගේ මාපියනට හා ගුරුවරුනටය. අනාගත පරපුර නිරෝගීව පවත්වා ගැනීම වැඩිහිටියන්ගේ යුතුකමකි.

මා බලා සිටියදීම දරුවෝ නොපෙනී ගියහ.

ටිකකින් සෙසු දරුවන්ගෙන් ද පාර හිස් විය.

තනි වුණු මම යළි ගරාජය දෙසට පිය මැන්නෙමි.

මාරාවිල, බටහිර වීරහේනේ විශ්‍රාමලත් විදුහල්පති ඩබ්ලිව්. එල්. බැසිල් ප්‍රනාන්දු මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu /�K mqj;am; weiqfrks

More News »