ළෙන්ගතු කටහඬ

2017-01-30 11:00:00       724
feature-top
මේ මිත්තණියගේ වයස අවුරුදු 101 කි. තමන් දරුවන් දහතුන් දෙනකු බිහි කළ බවත්, මුනුබුරු මිනිබිරියන් මහ ගොඩක් සිටින බවත් ඇයට අමතක ය.

දැන් ඇගේ කල්පනාව අඩු ය.

මහ ගෙදර ඇය සමඟ නතර ව සිටින්නේ ලොකු දූ ‘නෝනා’ සහ බාලයා ‘කළු මහත්තයා’ ය. ඒ නිසා නෝනා ගේත්, කළු මහත්තයා ගේත් නම් දෙකින් ඇගේ මතකය වැසී ගියා සේය.

දරුවන් සියලු දෙනා අතරින් ඇගේ වියපත් හිතට නිරන්තරව සහනයක් ගෙන දෙන පුතෙක් සිටියි. ඒ බණ්ඩාරගම පුතා ය.

ඔහු සති පතා සිය මව බැලීමට පැමිණෙයි. සස්ටජන්, මිදි, ඇපල්, පූවාලු ආදිය රැගෙන එයි. අම්මාගේ බඩ වේළෙන නිසා යෝගට් කවයි. රසට යමක් කැවිය යුතු නිසා කිරි පැණි රැගෙන එයි. ඈත ගම්වල පවා ඇවිද හොඳ පැණි හොයයි.

ඒ ආ විට ඇගේ කුටිය පිරිසිදු කරයි. උවැටන් කරයි. ආදරයෙන් අමතයි. රැයෙහි මවට නිදිමත එන තුරු ඇගේ හිස පිරිමදියි.

මෑතක සිට ඒ පුතා නොඑයි. ඔහු රිය අනතුරක් නිසා ඇඳට වැටී සිටින බව ඇය නොදනියි. ඒ ගැන කිව්ව ද ඇයට නොවැටහෙයි.

ඇය දැන් පසුවන්නේ දරුවන්ගේ මුහුණ දෙස බලා හඳුනාගන්නා වයසක ද නොවේ. නම් තියා මුහුණු ද ඇයට අමතකව ගොස් තිබේ. එහෙත් අර බණ්ඩාරගම පුතාගේ ළෙන්ගතු ඇමතීම, මුදු මොළොක් ස්පර්ශය ඇයට සිහිනයක් සේ දැනෙනවා හැ‍ඟෙනවා විය යුතු ය.

එසේ දැනෙන, හැ‍ඟෙන වාරයක් පාසා ඇය ‘නෝනෝ’ යි කියයි.

ඒ ඇසිල්ලේම නෝනා ද ඇය ඉදිරියේ පෙනී සිටියි.

‘ඇයි අම්මෙ?’

‘නෝනො, කෝ දැං මේ කළු මහත්තය?’

කළු මහත්තයායි කීව ද ඇය සොයන්නේ කළු මහත්තයා නොවන බව කවුරුත් දනිති. ඇය සොයන්නේ ඔහු නොව බණ්ඩාරගම පුතා ය. ඔහුට සිදු වී ඇති වින්නැහිය ගැන ඇයට පැහැදිලි කර දිය හැකි සක්කරයෙක් ද නැත.

නෝනා ගේ දෑස පොඟයි. ඇය දෑස පිස දමා අම්මා දෙස බලා හිනැහෙයි.

‘අම්මට මොනවද ඕනැ. තේ ටිකක් දෙන්ඩ ද?’

‘එපා! කෝ දැං මේ කළු මහත්තය?’

ලැබෙන සැලකිලි අඩුවක් නැතත් හිතට වැදුණු ළෙන්ගතු ඇසුරේ අඩුව නම් හොඳින් ම දැනෙන බව ඇගේ විමසිලිමත් දෑසින් පෙනෙයි.

ඈ වෙනුවෙන්ම ඔට්ටු වී හති වැටුණු කවුරුත් අඳුර වැටෙන විට නින්දට යති.

ඇය රෑ දෙගොඩ හරියේ ඇහැරී ගේ පුරා ඇවිදියි.

‘කළු මහත්තයො, කෝ මේ කළු මහත්තය?’

ඇය හිත් හෝදිසියට අඳුරේ ම ගේ දිගේ ඇවිද ගෙන යයි. කාමර ළඟ නැවතී බිත්ති අත ගා සුවිච් එක සොයා ලයිට් දායි.

‘නෝනො, කෝ මේ කළු මහත්තය?’

සැබවින් ම ඇය සොයන්නේ නම මතක නැති අර පුතු ගේ ළෙන්ගතු ඇසුරය.

මෙසේ යන අතර ඇය නොදැනීම සැබෑ කළු මහත්තයාගේ කාමරයේ දොර ද අරින්නට හදයි.

‘ක... ක... කළු මහත්තයො’

ඇය දොර අගුළ කරකවයි.

කළු මහත්තයා ද ඒ හඬින් අවදි වෙයි.

‘ඇයි අම්මෙ? මං මෙහේ’ ඔහු ද පිළිවදන් දෙයි.

ඒ හඬ ඇසුණු පසු ඇය මොහොතක් නිහඬ වෙයි. ඒ තමා සොයන කෙනා ගේ හඬ නොවන බව ඇයට දැනුණා සේය.

‘උඹ නෙමේ?’

ඇය යළිත් ගාටමින් සිය නිදි යහන සොයා යයි.

දෙණියායේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

silumina.lk


More News »