පින්බර මිත්තණිය

2017-01-25 11:43:00       526
feature-top
නෙතු මානයේ ඈතට දිව යන්නේ වෙල් යායකි. වෙල් යාය පටන් ගන්නා තැන ඇළකි. එහි දිය දහරක් ගලා යයි.

ඇළට එහායින් ඇත්තේ වත්තකි. එහි උස් කොස්ගස්, පොල්ගස් ආදියට යටින් කෙසෙල් පඳුරුත්, ගස්ලබු ගසුත් දිසෙයි. ඒ අතරින් කතුරුමුරුංගා, බුලත්, බතල ඈ වගාවන් පෙනෙයි.

මා සිතුවා සේම ඕ වත්තේ වැඩ කරමින් සිටියා ය.

‘අක්කේ!’ මම පුරුද්දට මෙන් ඇමතීමි.

‘ආ නංගියේ!’ ඇගේ හඬ වගාව අතුරින් මතුවිණි.

වයසත් සමඟ වියැකී නොගිය ඇගේ සොඳුරු හිනාව බුලත්වැල් අතරින් මතු විය. මම පාර අයිනේ නැවතී ඇගේ උස් සිහින් නිරෝගී සිරුර අඩියට දෙකට මවෙත එනු බලා සිටියෙමි.

‘නංගියෙ කොහෙද මේ?’

‘ළඟකට යනව. මං ගිහින් එන්නං අක්කෙ’

‘හොඳයි, හොඳයි ගිහින් එන්ඩකෝ’

ඒ සුන්දර හිනාව නැඟුණේ අසූපස් හැවිරිදි ගැමි මිත්තණියකගෙන් බව කියන්නට මට ලෝබ සිතෙන්නේ එපමණ වයසත් ඇගෙන් පළ නොවන බැවිනි.

බොහෝ විට ඒ රුව මට දැක පුරුදු එක්කෝ බුලත් පාත්තියක් සමඟ ය. නැත්නම් මඤ්ඤොක්කා පඳුරක්, කෙසෙල් පඳුරක් සමඟ ය. ගහට කොළට ළෙන්ගතු ඇය දවස ගත කළේ ද ගහකොළ සමඟ ය.

ඇය මහ ගෙදර විසුවේ තමා සමඟ හුදෙකලා වූ ආබාධිත පුතු සමඟය. ඇගේ සෙසු පුතුනුත් දියණියත් නුදුරු ගම්වල කැදලි තනාගෙන සිටියේ තම මව හුදෙකලා වාසයට ලොල් කළ බව ඔවුන් දත් නිසා ය. තම මවට මහත් සේ ගරු කළ ඔවුහු ඇයට ඇවැසි සියලු දේ සැපයූහ.

දරුවන් ගෙනත් දී තිබුණු ගෑස් උඳුන පසෙක තිබිය දී ඇය සුපුරුදු දර ළිපේ ම අහර පිසුවා ය.

ඇගේ පරණ කුස්සියේ හට්ටි මුට්ටි පිළිවෙළකට අසුරා තිබිණ. විටින් විට අලුත් වූ දර ගොඩක් ද පසෙක වූයේය.

වැසිකිළිය තිබුණේ වත්තේ කෙළවරය. වියපත් මවට එහි යෑම ඒම අසීරු බව දත් දරු පිරිස ගෙතුළම නාන කාමරයක් සහ වැසිකිළියක් තැනූහ. ගෑස් ළිපේ අහර පිසින්නැයි යළි යළිදු ඉල්ලූහ. ඇගේ එක ම බෑනා ද, ලේලිලා ද දරුවන් සේම ඇයට ආදරය කළහ.

දරුවකු හෝ නෑයකු ඇය බැලීමට ආ කල සියතින්ම උයා අහර පිළිගැන්වීම ඇගේ මනාපය විය. ඈ පිසූ අහර ගැමි සුවඳින් පිරිපුන් ය. කාට කාටත් තම තමන්ගේ පුංචි කාලය මතක් කර දෙන ප්‍රණීත රසයෙන් යුතු ය. බඩ කට පිරුණ ද පෙරැත්ත කරමින් අහර පිළිගැන්වීම ඇගේ සිරිත විය.

අමුත්තන් කා බී තුටින් සමුගන්නා මොහොතේ මිදුලේ පසෙක ඇති කොස් ගස් සෙවණේ ඇගෙන් මොකක් හෝ තිළිණයක් තිබිණි. ඒ එක්කෝ වරකා ගෙඩියකි. ඇතැම් විට කොස් ගෙඩියක් හෝ පොළොස් ගෙඩියකි. නැත්නම් ලෙලි ගසන ලද පොල් ගෙඩි කිහිපයකි. මඤ්ඤොක්කා අල ගොඩකි. කෙහෙල්මුව කිහිපයකි. කොහිල දලු මිටියකි. කංකුං, මුගුණුවැන්න හෝ ගොටුකොළ මිටියකි.

උත්සව කාලවලදී ඇය බසයේ නැඟී තම දරුවන් හෝ නෑයන් බැලීමට ගියා ය. ඒ යන විට සියතින්ම හැදු හැලප, වැලිතලප, කොණ්ඩ කැවුම්, අතිරස, අලුවා වැනි රසකැවිලි සමඟ ගෙවත්තේ ඉදුණු කෙසෙල් කැනක ඇවරියක් ද රැගෙන යෑම ඇගේ තවත් සිරිතක් වී තිබිණ.

ඈ මුවෙහි නිරන්තරව රැඳී පැවති හිනාව මට නම් ආත්ම ගණනාවකට අමතක නොවේ. ඒ පින්බරය. ආදරණීයය. කාරුණිකය. ඇගේ හිනා කිරණ වදින කාගේත් හිත් පැහැදුල් වෙයි. ඇගේ වත්තේ ගහකොළ ද කාන්තිමත් වූයේ ඇගේ සිනාව නිසා යැයි මට සිතේ.

වරක් ඇය අසනීප වූවාය. දරුවෝ ඇය වහා රෝහල්ගත කළහ. දෙදිනක් නේවාසිකව සිටි ඇය බැලීමට මම ද ගියෙමි. ඈ වටා දරුවෝ ද, ඥාතීහු ද වූහ.

දොස්තර මහත්තයා වාට්ටුවට එන විටම ඇය ඔහු ඇමතුවා ය.

‘දොස්තර මහත්තයො, දැන් මට සනීපයි. මගෙ වැඩ මට ම කරගන්ඩ පුළුවනි. මං දැං ගෙදර යන්ඩ ද?’

දොස්තර මහත්තයාගේ මුහුණට ද හිනාවක් නැඟිණ.

‘අනේ අම්ම අපිව දාල හෙමීට ගෙදර යන්ඩ නේද හදන්නෙ?’

අප ද හිනා ගස්වමින් දොස්තර මහත්තයා පිළිවදන් දුන්නේය.

අප සමුගන්නා මොහොත එළඹිණ. ඇය මුදල් නෝට්ටු වගයක් දවටන ලද ලේන්සුවක් දියණිය අත තැබුවාය.

‘මොකක්ද අම්මෙ මේ?’ දියණිය එය ගෙන බැලුවේ කුහුලිනි.

‘මට මොකක්හරි වුණොත් වියදමට ඕක තියා ගන්ඩ?’ ඇය ගානක් නැතුව හිනාවුණා ය.

‘අම්මට මොනව වෙන්ඩ ද? අම්මට මොකුත් වෙන්නෙ නෑ. මොනව වුණත් අපි ඒව බලාගන්නං. අම්මම මේක තියා ගන්ඩ! ඒක නෙමේ, අම්මට කොහෙන්ද ඔච්චර සල්ලි?’

‘මේව ඉතින් සැරින් සැරේ ඔයාලම මට දුන්නු සල්ලිනේ. මං ඉතින් මොනවට වියදම් කරන්ඩ ද? එකතු කරල තිබ්බ වුවමනාවක් උණොත් ගන්ඩ!’ එසේ කියමින්ම ඇය ලේන්සු පොට ඉ‍ෙණ් ගසා ගත්තා ය.

ඇය රෝහලින් ආ පසු මම දුරකථනයෙන් ඇගේ දියණිය ඇමතීමි.

‘කෝ දුවේ අම්ම නිදි ද?’

‘කිව්වට අහන්නෙ නෑ. අන්න අරෙහෙ බුලත්වැල්වලට කොවුල් හිටෝනව!’

ඇය හැම පෝයටම සිල් ගත්තා ය. ඇතැම් විට හාමුදුරුවන් ගෙදරට වැඩම කරවා දන් පිළිගැන්නුවා ය.

අනුමෝදනාව අවසානයේ හාමුදුරුවෝ ඈ දෙස බලා මෙසේ විමසූහ.

‘උපාසකම්මට දැන් සන්තෝස ද? සන්තෝසයි නේද?’

‘එහෙමයි හාමුදුරුවනේ, හරි සන්තෝසයි’

මේ ලිපිය ලියන මට දැන් හැත්තෑ හතරකි. දිවයිනේ බොහෝ පෙදෙස්හි රාජකාරි කර ඇති මා මගේ ජීවිත කාලයට ඇය බඳු වෙනත් අයකු නම් දැක නැත.

දිනක් මා ඇය ගැන කියනු අසා සිටි මිතුරියක් විස්මයෙන් දෑස් මහත් කොට මෙසේ කීවා ය.

‘අනේ වාසනාවන්! මෙහෙම කතාවක් අහන්ඩ ලැබීමත් පිනක්!’

නමුත් මණ්ඩාවෙල විසූ ඒ වාසනාවන්තිය නොබෝදා පූගොඩ කනත්තේදී සදහටම අපෙන් සමු ගත්තාය.

ඇගේ මළගම වෙනුවෙන් සවි කරන ලද බැනරයක් දැනුදු මට පෙනෙයි.

‘පුංචි නෝනා උපාසිකා මාතාවට නිවන් සැප ලැබේවා! එහි ලොකු අකුරින් දිස්වෙයි.

එහි පසෙක ඇගේ පින්බර සිනාව රැඳි ඡායාරූපයකි.

‘නංගියේ’ කියා ඇය සිනාසෙනවා වැන්න.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයයේ විශ්‍රාමික ආචාරිනී සුමනා ප්‍රනාන්දු මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »