බුදු සුවඳ

2016-12-05 10:37:00       723
feature-top
නැගෙනහිර පළාතට ගොස් ආපසු කොළඹ බලා එමින් සිටි එම්මානුවෙල් ගේ වෑන් රිය සේරුවිල හරියේ දී හිටිඅඩියේ ම අක්‍රීය වී නැවතුණේ ය.

එය පණගන්වා ගැනීමට ඔහු දන්නා සියලු වැඩ දැම්මත් පලක් වූයේ නැත.

රියේ සිටියේ ඔහු පමණි. ඉර ද අවරට යමින් තිබිණි. ඔහුට ලොකු තනිකමකුත්, සියුම් බියකුත් දැනිණ.

දැන් ඉතින් කාර්මික ශිල්පියකු සොයා ගත යුතු ය. වෑන් රිය පාර අයිනේ දමා යෑමට ද නොහැකි ය. එම්මානුවෙල් තීරණයක් නොගත හැකිව යාබද දිස්වුණු පන්සල දෙස බලා ගත්වන ම බලා සිටියේ ය.

පන්සලෙන්, කිසියම් පිළිසරණක් ලැබෙතැයි ඔහුට සිතිණ. ඔහු එදෙස බලා සිටියේ අමාරුවේ වැටුණු දරුවකු වැඩිහිටි ඥාතියකු දෙස බලා සිටින ආකාරයට ය.

පන්සල් බිමට ඇතුළු වූ හෙතෙමේ බුදු ගේ දෙස බලා දෑත් එකතු කොට වැඳ ලැගුම් ගෙය සොයා ගියේ ය.

වැඩිහිටි හාමුදුරු නමක් තමා දෙස කුහුලින් බලා සිටින හැටි දුටු ඔහු ගෞරවයෙන් යුතු ව ළඟට ගියේ ය.

‘හාමුදුරුවනේ!’

‘හ්ම්’

‘අනේ හාමුදුරුවනේ, මගෙ වෑන් එක පන්සල ළඟදි කැඩුණ. මං ආවෙත් තනියම. රෑ වේගනත් එනවා. හදා ගන්න කෙනෙක් හොයා ගන්ඩත් ඕනෑ. මට යන්ඩ තැනකුත් නැ. අද රෑ මට පන්සලේ නවතින්ඩ පුළුවන් වෙයි නේද හාමුදුරුවනේ?’

‘මොකක්ද නම කිව්වෙ?’

‘එම්මානුවෙල්’

හාමුදුරුවන්ගේ මුහුණ වෙනස් විය.

‘නෑ. නෑ. මෙහෙ නවාතැන් නෑ’ හාමුදුරු‍වෝ ලැගුම් ගේ තුළට වැදුණ හ.

විදුලි සැරක් වැදුණා සේ මොහොතක් ගල්වී සිටි එම්මානුවෙල් අවසානයේ කඩා වැටුණු හිසින් යුතු ව පාරට විත් තම රියට හේත්තු වී කම්මුලේ අතක් ගසා ගත්තේ කරන්නේ කුමක්දැ යි හිතා ගත නොහැකිව ය.

පාරේ ට්‍රැක්ටරයක් එමින් තිබ‍ුණේ ය.

එම්මානුවෙල්ට එහි හඬ ඇසුණේ එය හොඳට ම ළං වූ පසු ය.

ට්‍රැක්ටරයේ රියැදුරු අසුනේ සිටින තැනැත්තා තමන් දෙස විමසිල්ලෙන් බලා සිටිනු එම්මානුවෙල් දුටුවේ ය. ට්‍රැක්ටර් ටේලරයේ ගැහැනු පිරිමි කිහිප දෙනෙක් ද වූහ.

වෑන් රිය ළඟ ම ට්‍රැක්ටරය නැවැත්වූ එහි රියැදුරු එම්මානුවෙල්ගේ දෑසට එබුණේ ය. ‍

‍‘මොකද මහත්තය ප්‍රශ්නයක් ද?’

‘වෑන් එක කැඩුණ මහත්තයො! කරගන්ඩ දෙයක් නැතුවයි මේ ඉන්නෙ. හාමුදුරුවන්ටත් කිව්ව. රෑ පන්සලේ ඉන්නවට හාමුදුරුවන්ගෙ කැමැත්තක් නෑ’

ට්‍රැක්ටරයේ ගුඩුගුඩුව නැවැත් වූ රියැදුරු තරුණයා බිමට බැස්සේ ය.

‘ඔය පන්සල නැතුවට කමක් නෑ. මහත්තය බයවෙන්ඩ එපා! අපි මහත්තයව තනිකරන්නෙ නෑ. අපි කොහොමහරි වෑන් එක හදමු. මහත්තයට අපේ දිහෑ යන්ඩත් පුළුවන්. ඒත් මහත්තයට පන්සලක ම නවතින්ඩ ඕන්නං අපි ඒකත් බලමු. මේ පන්සල නැතිවට තව පන්සල් තියනව මහත්තයො.’ ට්‍රැක්ටර් තරුණයා සුන්දර හිනාවක් පෑවේ ය.

එම්මානුවෙල්ට ඔහු පෙනුණේ දෙවි කෙනකු සේ ය.

‘මහත්තයට කියන්ඩ මහත්තයො අපි මේ කමතෙ ගොයම් පාගල එන ගමං! ඔය ටේලර් එකේ ටෝ රෝප් එකක් (ඇදගෙන යන කඹයක්) තියනව. අපි එකෙං වෑන් එක ඇදගෙන යං!’

එම්මානුවෙල්ගේ දෙවියා යළි ට්‍රැක්ටරයට නැග එය පණ ගන්වා එහි ටේලරය වෑන් රියේ මුහුණ ළඟට කර නැවැත්තුවේ ය. අනතුරුව කඹයෙන් වාහන දෙක ඈඳිණ.

‘හරි දැං මහත්තය නගින්ඩ! අපි යං’

ඈඳුණු රිය දෙක ඉදිරියට ගියේ ය.

ට්‍රැක්ටරයේ ගමන නැවතුණේ තවත් පන්සල් වත්තක ය.

ඉන් බැස ගත් තරුණයා එම්මානුවෙල් ද කැඳවාගෙන එහි නායක හාමුදුරුවන් ඉදිරියට ගියේ ය.

‘හාමුදුරුවනේ, මේ මහත්තයගෙ වෑන් එක කැඩිල. ඒක හදාගන්න කං මහත්තයට මෙහෙ නවතින්ඩ ඕනැ. ඔබ වහන්සෙ පිහිට වෙන්ඩ!’

තරුණයා ‍එසේ කියත් ම හාමුදුරුවෝ අමුත්තා වෙත හැරුණ හ.

‘ආ එන්ඩ මහත්තයො. කරදරේ වැටුණු කෙනෙකුට පිළිසරණ වෙන එක හොඳ බෞද්ධකමක්නෙ. වාහනේ හදාගන්න කං උන්නැහේ මෙහෙ ඉන්ඩ, මේ පන්සලේ ඕනැ තරං ඉඩ තියෙන්නෙ’

එම්මානුවෙල් හාමුදුරුවන් ඉදිරියේ වැඳ වැටුණේ ය.

‘ආ.... ඒක නෙමේ දායක උන්නැහැ. දවල් දානෙ තව ඉතුරු යි. මුන්නැහැට කන්ඩ දීල හිටිය නං....’

අමුත්තාගේ රෑ අහරවෙල් ද පිළියෙල කොට දී සිය පිරිස සමඟ ගෙවල්බලා ගිය ට්‍රැක්ටර තරුණයා පසු දා උදයේ ආපසු ආයේ බාස් උන්නැහේ කෙනකු ද කැඳවා ගෙන ය.

බාස් උන්නැහේ ද ඉක්මනින් කටයුත්ත ඉටු කර දුන්නේ ය.

බාස් උන්නැහේ ගේ ගනුදෙනු බේරා නාහිමියන් පා වැඳ සමු ගත් එම්මානුවෙල් සිය ට්‍රැක්ටර් මිතුරාට මුව නොසෑහෙන සේ තුති පුදා ඉන් ද නොනැවතී මුදලක් අත තබන්නට සිය මුදල් පසුම්බිය අතට ගත්තේ ය.

‘පිස්සු ද මහත්තයො? අමාරුවෙ වැටිච්ච මනුස්සේකුට උදව්වක් කරල සල්ලිත් ගන්ඩ පුළුවන්ද? ඔය සල්ලි මහත්තය ම තියා ගන්ඩ! අපි හැමදා ම යාළුවො හැටියට ඉම්මු. ඒ මදි ද?’ ට්‍රැක්ටර් මිතුරා හොඳ හිනාවක් පෑවේ ය.

එම්මානුවෙල් ට්‍රැක්ටර් මිතුරා ගේ දෑත තම දෑතින් තරකොට මිරිකා ගත්තේ ය. ඔහු ගේ කඳුළු ඔහුගේ ම දෑත මත වැටුණේ ය.

‘දැං ඉතින් මහත්තය යන්ඩ! මං කමතට යන්ඩ ඕනැ. වී ටික අඳින්ඩත් එපෑ.’

ඒ රත්තරන් මනුස්සයාත්, ඔහු ගේ අමතක නොවන ට්‍රැක්ටරයත් ගැස්සි ගැස්සී නොපෙනී යනතුරු බලා සිටි එම්මානුවෙල් සිය වෑන් රිය පණ ගන්වා පාරට ගත්තේ ය.

එතැන් සිට කොළඹ බලා යෑමට නම් රිය හැරවිය යුත්තේ දකුණට ය. එහෙත් එය හැරුණේ වමට ය.

වේගවත් ගමනින් ආ රිය පරණ පන්සල ළඟ නතර විය.

එම්මානුවෙල්ගේත්, හාමුදුරුවන්ගේත් දෑස් එකට හමු විය.

‘හාමුදුරුවනේ, ඊයෙ හැන්දෑවෙ වෑන් එක කැඩිල පන්සලේ නවතින්ඩ ඉල්ලගෙන ආපු මනුස්සයව මතකද? ඒ මම!’

‘හ්ම්’

‘මං එච්චර දුක කියලත් හාමුදුරුවො මට පිහිට වුණේ නෑනෙ. කමක් නෑ හාමුදුරුවනේ මට හොඳ බෞද්ධයො ටිකක් හම්බ වුණා. කරුණාවන්ත හාමුදුරු කෙනෙකුත් හම්බ වුණා. හොඳ පන්සලකුත් හම්බ වුණා. මං වෑන් එකත් හදා ගත්ත.’

‘................’

‘මේකත් මතක තියා ගන්ඩ හාමුදුරුවනේ. මේ පන්සලේ ඔය හාමුදුරුවො නැතු ව බුදු හාමුදුරුවො හිටිය නං උන්නාන්සෙ මට කවදාවත් පිටුපාන්නෙ නෑ’

වටද්දර, තල්ගහහේනේ, සේපාල සේනානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

silumina.lk


More News »