දරුපවුල

2016-11-29 09:12:00       728
feature-top
රියක් පැමිණ ගෙයක් ළඟ නතර කැරිණ. එය පදවා ගෙන ආ තැනැත්තා ඉන් නො බැස ගෙයි දොර හැරෙන තුරු බලා සිටියේ ය.

දොර හැරිණ.

කතක් කුඩා දරුවකු සමඟ එළියට බස්සා ය. රිය ඇස ගැටුණු හැටියේ ම ඇය ආවේශ වූවා ය.

‘ආං ඇවිල්ල! ඕං පලයං!’ ඇය දරුවා ඉදිරියට තල්ලු කර දමා ගෙට වැදී දොර වසා ගත්තා ය.

ඒ දරුවා ගේ අම්මා ය.

එතුවක් නොපෙනී සිටි තැනැත්තා රියෙන් බැස දරුවා දෙස නෙතු අයා බලා සිටියේ ය.

ඒ දරුවාගේ පියා ය.

බිය වී සිටි දරුවා පියා වෙත පිය ගෑටුවේ ය. ඔහු ගේ දෑසින් කඳුළු බේරෙමින් තිබිණ.

පියා අඩි කිහිපයක් ඉදිරිය‍ට ගොස් පුතුට හිනාවක් පෑවේ ය.

‘පුතේ! එන්ඩ පුතේ තාත්තත් එක්ක යන්ඩ!’

පියා නැමී දරුවා ළං කර ගත්තේ ය. දරුවා හෝ ගා අඬන්නට වූයේ ය.

‘අඬන්න එපා මගෙ පුතේ! අපි යං!’

පියා දරුවා කැඳවාගෙන ගොස් රියෙහි වාඩි ගැන්නුවේ ය.

මව ජනේලයක් යාන්තමට හැර සිද්ධිය නිරීක්ෂණය කරමින් සිටියා ය.

පියාත් පුතාත් නැගුණු රිය නොපෙනී ගියහ.

මව දඩාං හඬින් ජනේලය වැසුවා ය.

ඉගිළී ගිය රිය නැවතුණේ නගරයේ ළමා උයන අයිනේ ය.

‘ඔන්න අපි ගාඩ්න් එකට ආව. දැන් බහිමු පුතේ’ පියා ද පුතු ද රියෙන් බට හ.

පියා රියේ ඩිකිය ඇරියේ ය. එතුළ සෙල්ලම් බඩු ද, ක්‍රීඩා උපකරණ ද, නොයෙක් ඇඳුම් ද, බීම බඳුන් ද විය.

‘ආස දෙයක් ගන්ඩ පුතේ!’

දරුවා වහා ම ලොකු බෝලයක් දෑතින් ගත්තේ ය.

‘හොඳයි, අපි බෝල් ගහමු පුතේ’

ලොකු බෑගයක් ඩිකියෙන් පිටතට ගත් පියා ඉන් ගත් බීම බෝතලයක් ද කිහිලි ගන්නා ගෙන රිය ලොක් කළේ ය.

දෙදෙනා නැවතුණේ උයනෙහි ගසක් යට ය. මුලින් ම සැහැල්ලු ඇඳුමකට මාරු වූ පියා දෙවනුව දරුවාගේ ඇඳුම් මාරු ‍කළේ ය.

දැන් දෙදෙනා ම සෙල්ලමට සූදානම් ය.

ළමා උයනෙහි තැන තැන දරුවෝ සෙල්ලම් කරති. ඔවුන් දෙස බලා සිටි දරුවා තුළ ද සෙල්ලම් හිතක් පහළ වූයේ ය.

‘අපිත් සෙල්ලම් කරමු පැටියෝ’ පියා දරුවා අත තිබූ බෝලය උදුරා ගෙන ඈතට දමා ගැසුවේ ය. දරුවා ද බෝලය අල්ලන්නට දිව ගියේ ය.

පියාගේත් පුතාගේත් බෝල ගැහිල්ල නැවතුණේ පැයක් හමාරක් ගිය තැන ය.

‘දැන් ඔයාට මහන්සි ද? අපි මොනව හරි බීල ඉම්මු පැටියො’

පියා බීම බෝතලය හැර පාට කෝප්පයකට බීම වත් කර දරුවාට දුන්නේ ය.

දරුවා එය එක හුස්මට බී පියා දෙස බැලුවේ ය.

‘තාත්තෙ තව?’

පියා බඳුන යළි බීමෙන් පුරවා ඉතිරිය ගුඩුස් ගා ගිල දැමුවේ ය.

‘පුතේ මට ආසයි පුතාව වඩාගෙන පාක් එකේ රවුමක් යන්ඩ!’

‘ඉතිං වඩා ගන්ඩකො තාත්තෙ’

පියා දරුවා වඩා ගත්තේ රටක් රාජ්‍යයක් ලද සන්තෝසයෙනි. අනතුරුව ඔහු දරුවා වඩා ගෙන උයනෙහි තුරු ලතා අතරින් ඇවිද ග‍ියේ ය.

පුතු වඩා ගත් පියා ආපසු ආවේ හොඳට ම හති දමමිනි. ටැප් එකක් අසල නැවතුණු පියා පුතු ගේ මුහුණ කට දොවා අනතුරුව තුමූ ද පිරිසුදු වූයේ ය.

‘දැන් අපි බීච් එක පැත්තෙත් රවුමක් ගහල රෑ වෙන්ඩ කලින් ආපහු යමු නේද පැටියො’

‘හා’

රිය යළි පාරට වැටුණේ ය.

සාප්පුවකට දෙකකට ගොඩ වූ පියා දරුවාට ඇඳුමකුත් චොකලට් කිහිපයකුත් රැගෙන දුන්නේ ය.

‘පැටියො ඔයාගෙ පොත්පත්වල අඩු පාඩු මොනවද? පෑන් පැන්සල් එහෙම ඕනැ ද?’

‘ඒව තියනව තාත්තෙ’

‘එහෙනං ඒව ඉවර වෙනකොට ගම්මු නේද?’

‘හා’

රිය වෙරළ අසල නවතින විට හිරු මුහුදේ ගිලීමට ආසන්නව තිබිණ.

‘තාත්තෙ ඉර රතු පාට බෝලයක් වගේ නේද?’

‘ඔව් පුතේ’

‘ආකාසෙ වලාකුළු ලස්සනට පාට කරල වගේ’

‘පුතාට පුළුවන්ද මේ දර්ශනේ චිත්‍ර අඳින කොළේක ලස්සනට අඳින්ඩ?’

‘පුළුවන්’

‘එහෙනං පුතා ලබන සතියෙ මං පුතාව බලන්ඩ එනකොට ඒ චිත්‍රයත් අරගෙන එන්ඩ ඕනැ හරි ද?’

‘හ්ම්’

‘හොඳ පුතා’

පියා පුතු තුරුලු කර ගත්තේ ය.

අඳුර වැටෙන්නට පෙර පුතු මවගේ නි‍ෙවසට බාර දීමට පියා වගබලා ගත්තේ ය.

ගෙය අසල රිය නැවතූ පියා ඉන් නොබැස නළාව හැඬ වූයේ ය.‍

දොර ළඟ විදුලි බල්බය දැල්වුණ මුත් දොර හැරුණේ නැත.

පියා යළිත් නළාව හැඬවූයේ ය.

දොර හැරුණේ කිහිප වරක් නළාව හැඬවුණු පසු ය.

මව පිටතට ආවා ය.

‘ආ යන්ඩ පුතේ. මං ආයෙත් ලබන සතියෙ ඔයාව බලන්ඩ එන්නං. මතකයිනෙ අර චිත්‍රය. ඒක අඳින්ඩ!’

පියා පුතු සිප ගෙන ඔහුට සමු දුන්නේ ය.

රියෙහි දොරක් හැරිණ. පුතු පියා දුන් තිළිණ දෝතින් රැගෙන මව වෙත ගෑටුවේ ය.

මව සිටියේ පුපුරමිනි.

‘මොනවද ඔය? විසිකරනව ඕව!’ මව පිය තිළිණ ඩැහැගෙන මිදුලට විසිකොට දරුවාගේ පිටට පහරක් ගැසුවේ ය.

‘පලයං ගෙට!’

දරුවා හඬා ගෙන ගෙට දිව්වේ ය.

රිය යන්නට ගියේ ය.

ගෙයි දොර ද වැසිණ.

මා මෙසේ ලීවේ මගේ හොඳ ම මිතුරකු සතියකට වරක් විඳින අත්දැකීමයි.

ඔහුත් බිරියත් දික්කසාද වී සිටිති. දරුවා හැදෙන්නේ මව ළඟ ය. පියාට සතියකට වරක් දරුවා හා ගත කිරීමට නීතියෙන් අවසර ලැබී තිබේ.

තරුණ තරුණියො වැඩි දුර නොසිතා කසාද බඳිති. වැඩි දුර නොසිතාම දික්කසාද වෙති. ඔවුන් දෙදෙනාට හිර වන දරුවා අන්ත අසරණ මට්ටමට පත් වෙයි.

මගේ මිතුරාගේ දරුවා ද එවැන්නෙකි. ඔහුගේ අනාගතය කෙබඳු වේදැයි මට සිතා ගැනීමට නොහැකි ය. අසමතුලිත මානසික මට්ටමකින් වැඩෙන ඔහු හොඳ පුරවැසියකු වන්නේ කෙසේ ද? එබඳු පුරවැසියන් වැඩි දෙනකුගෙන් පිරුණු සමාජයක් ගැන හිතීමත් බියකරු ය.

මවත් පියාත් දික්කසාද වුව ද ඒ බව දරුවන්ට නොදැනෙන පරිදි එක ම නිවෙසක වෙන්ව ‍හෝ විසිය යුතු බවට නීතියක් ඇමෙරිකාවේ සම්මත කොට ගෙන ඇති බව මම දැන ගතිමි. බටහිර රටවල් ඊට අදාළ නීති ගේන්නට තරම් උනන්දු වන්නේ ඒ ප්‍රශ්නයෙන් ඒ සමාජ දරුණු ලෙස බැටකන නිසා ය.

කසාද බැඳ දරුවන් ලැබුණු පසුවත් අපට නම්‍යශීලි විය හැකි නම් පවුල් ප්‍රශ්න මෙපමණ දරුණු නොවේ.

හොඳ පුරවැසියන් විය හැක්කේ තමන් ගැන සේ ම අනුන් ගැන ද හිතන්නට හැකියාව ඇති අයට ය.

අනන්‍යතාව සඟවා සිටීමට කැමති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

silumina.lk


More News »