අපූරු මිනිසා

2016-11-21 01:27:00       551
feature-top
ෆාමසියකි. ඒ ඉදිරිපිට නවත්වන ලද සැප රියකි.

ඉන් බැස ගත් නෝනා කෙනෙක් සහ මහත්මයෙක් බෙහෙත් වගයක් මිලදී ගනු පිණිස ෆාමසියට ගොඩ වූහ.

බෙහෙත් ගත් ඔවුහු යළි රියට නැංගහ.

රිය යන්නට ගියේ ය.

ෆාමසියේ සේවය කරන චන්ද්‍රපාලගේ දෑසට ආගන්තුක දෙයක් ගැටිණ.

ඒ වූකලි වීදුරු ෂෝකේසය මත තිබුණු කාන්තා අත්බෑගයකි.

චන්ද්‍රපාල එය අතට ගත්තේ ය. බෑගය ටිකකට පෙර බෙහෙත් වගයක් මිල දී ගැනීමට පැමිණි යුවළගේ විය යුතු යැයි ඔහුට සිතිණ.

කැෂියර් තරුණිය ටිකක් එහායින් යමක් බලමින් සිටියා ය. චන්ද්‍රපාල ඇය වෙත හැරුණේ ය.

‘නංගි මේ බෑග් එක අර ටිකකට ඉස්සර ආපු දෙන්නගෙ වෙන්ඩ ඇති. අරන් තියන්ඩ!’

ඔහු එය ඇයට දුන්නේ ය. ඇය ද එය රැගෙන පසෙකින් තැබුවා ය.

වැඩි වේලාවක් ගත වූයේ නැත.

අර සැප රිය වේගයෙන් පැමිණ ෆාමසි දොරකඩ නතර විය. යුවළ ඉන් බටහ.

නෝනා මහත් කලබලයෙන් ෆාමසියට ආවා ය. මහත්මයා පිටුපසින් ආවේ ය.

‘අනේ මගෙ හෑන්ඩ් බෑග් එක මෙහෙ අමතක වෙලා ගියා. මගදියි මතක් වුණේ’ නෝනාගේ හිතේ කලබලය වචනවලින් ද පෙනිණ.

චන්ද්‍රපාල නෝනා ළඟට ආවේ ය.

‘කොයි විදිහෙ බෑග් එකක් ද නෝන?’ ඔහු විමසුවේ ය.

නෝනා සිය අත්බෑගයේ හැඩ රුව විස්තර කළා ය.

චන්ද්‍රපාල කැෂියර් තරුණිය වෙත හැරුණේ ය.

‘නංගි, අර මං දීපු බෑග් එක මේ නෝනට දෙන්ඩකො’

තරුණිය බෑගය දුන්නා ය.

නෝනා ටිකක් එහාට ගොස් බෑගය විවර කළා ය.

මහත්මයා චන්ද්‍රපාල සමඟ ඇබැද්දිය ගැන කතා කරන්නට වූයේ ය.

නෝනා සිය බෑගයෙන් මුදල් මිටි වගයක් පරිස්සමින් පිටතට ගෙන ගණින්නට වූවාය.

මුදල් මිටි ටික යළි බෑගය තුළට ම ලූ ඇය එය වසා පරිස්සමින් රඳවා ගෙන මහත්තයා වෙත ආවේ එළිය වැටුණු මුහුණිනි.

‘ඕකේ. සල්ලි ටික එහෙම්ම තියනව’

එබසින් මහත්තයාගේ මුහුණ ද එළිය විය.

එකෙණෙහිම නෝනා චන්ද්‍රපාල වෙත හැරුණා ය.

‘අනේ මිස්ටර්, අපිට හරිම සන්තෝෂයි, මගෙ බෑග් එකේ රුපියල් එක් ලක්ෂ පනස් දාහක් තිබුණා. මං ගොඩක් බයවෙලයි හිටියෙ.’

චන්ද්‍රපාල ද නෝනා දෙස බැලුවේ එළිය වැටුණු මුහුණිනි.

‘මං බෑග් එක ඇරල බැලුවෙවත් නෑ. කැෂියර් නංගිට දුන්න තියන්ඩ කියල’

බෑගයට අත යැවූ නෝනා ඉන් රුපියල් පන්සියයේ නෝට්ටුවක් ගෙන එය චන්ද්‍රපාලගේ අතේ තියන්නට හැදුවා ය.

‘අනේ ගොඩාක් තෑන්ක්ස්. මේක දැනට තියා ගන්ඩකො’

චන්ද්‍රපාල කට අරින්නටත් පෙර මහත්තයා ඒ පන්සීයේ නෝට්ටුව ඩැහැගෙන ආපසු බෑගයට දා ඉන් රුපියල් දාහේ නෝට්ටු දෙකක් ගෙන ඒ නෝට්ටු සහිත දෑතින් චන්ද්‍රපාලගේ අතක් අල්ලා ගත්තේ ය.

‘සමාවෙන්ඩ! ඔබ තුමා අපේ බෑග් එක පරිස්සං කරල දුන්නු එකට සන්තෝසයි කියල විතරක් මදි. මේක සුළු තෑග්ගක්. කරුණාකරල ගන්ඩ!’ මහත්තයා චන්ද්‍රපාලගෙන් මහත් කරුණාවෙන් ඉල්ලා සිටියේය.

චන්ද්‍රපාල ගේ දෑස දිලිසිණ.

‘අනේ මට මොකුත් එපා මහත්තයා, මෙහාට ආව කෙනෙක් අමතක වෙලා යමක් දාල ගියාම අරන් තියන එක අපේ වැඩක්නෙ. ඒක අපට අයිති දෙයක් නෙමෙයිනෙ. අනුන්ගෙ දෙයක් ගන්ඩ අපට අයිතියක් නෑනෙ. අනේ ඔය සල්ලි මට එපා මහත්තය. ඔයාලගෙ බෑග් එකේ තිබිච්ච සල්ලි අඩුවක් නැතුව තියනව නමං මට ඒක සතුටක්!’

මහත්තයා යළි චන්ද්‍රපාල ඇමතීමට පෙර ෆාමසියේ හිමිකාර මහත්මයා චන්ද්‍රපාල ඇමතුවේ ය.

‘චන්ද්‍රපාල, මේ මහත්තය සතුටින් දෙන දෙයක්නෙ, කමක් නෑ ගන්ඩ!’

‘ඔව් ගන්ඩ!’ මහත්තයා ද නැවත නැවත ඉල්ලා සිටියේ ය.

චන්ද්‍රපාල නෝට්ටු කොළ දෙක සියතට ගත්තේ ය.

අමුත්තෝ දෙදෙන සමු ගත්හ, යන්නට පෙර මහත්තයා චන්ද්‍රපාලට යමක් කීවේ ය.

‘මේ පාරෙන් යද්දි මං ඔයාව බලල යන්ඩ එනව!’

මේ මසුරං කතාව කන වැකුණු මොහොතේ චන්ද්‍රපාල සොයා යෑමට මට සිතිණ. පසු අවස්ථාවක මම ඒ ආසාව ඉටුකර ගතිමි.

මුදල් බෑගයේ හිමිකාර යුවළ ධනවත් අය බවත් චන්ද්‍රපාල මුදල් තිළිණ කළ මහත්මයා වෛද්‍යවරයකු බවත් මා දැනගත්තේ ෆාමසියට ගිය විටය.

‘ඒ දොස්තර මහත්තය සන්තෝසෙන් දීපු රුපියල් දෙදාහ මං මගෙ දූගෙ බැංකු පොතේ දැම්ම’ චන්ද්‍රපාල මා හා කියා සිටියේ සතුටිනි.

මේ ෆාමසිය ඇත්තේ හංවැල්ලේ පහත්ගමය. බුලත්කොහුපිටියේ පදිංචිකාර චන්ද්‍රපාල වේදිකා නාට්‍ය ශිල්පියෙක් ද වෙයි.

යහගුණයෙන් පිරි මිනිසාණනි, ඔබට යහපත සැලසේවා!

silumina.lk


More News »