විස්මිත සාදය

2016-11-15 11:40:00       727
feature-top
මගේ හිතවතෙක් මට දුරකථන ඇමතුමක් දී තම මවගේ හැත්තෑ වැනි උපන් දිනය වෙනුවෙන් නිවෙසෙහි පැවැත්වෙන භෝජන සංග්‍රහයට නොවැරදීම සහභාගි වන්නැයි ඉල්ලා සිටියේය. මම ඒ ඇරියුම සතුටින් බාර ගතිමි.

‘හැබැයි මචං මේක අම්මට රහසක්. එයාගෙ උපන් දිනේ එයාට මතකත් නෑ. අපි කල්තියා එයාට කියල තියෙන්නෙ කට්ටියම කෑමකට හෝටලේකට යනව. ඒ හින්ද හොඳ ලස්සනට ඇඳල ඉන්න කියල විතරයි. මේක සර්ප්‍රයිස් පාටියක්. හරි ද?’ ඔහු අවධාරණය කළේය.

‘හරි ඒ රහස අනිවාර්යයෙන්ම රැක ගන්නම්’ මම පොරොන්දු වීමි.

දිනය උදා විය. මම බිරිය හා දරුවන් ද කැටුව නියමිත වේලාවට එහි ගියෙමි.

උත්සවයක කිසිදු ලකුණක් එහි නොදිස් විය.

‘හොඳට හැඳ පැලඳගෙන සිටි මිතුරාගේ මව අප පිළිගත්තේ තරමක් අවුල් වූ මනසකින් බව පෙනිණ.

‘ආ එන්ඩ! එන්ඩ! දැක්ක එකක් සන්තෝසයි. ඒත් අනේ පුතේ අපි තව ටිකකින් එළියට යන්නයි හදන්නෙ. ඔයාල එන බව අපි දන්නෙ නෑනෙ. ඉන්ඩකො මං පුතාට ඔයාල ආව කියල කියන්ඩ!’ කියමින් ඇය ගෙතුළට ගියා ය.

මිතුරා ද අප වෙත ආයේ තමාගේ අනුදැනුමින් තොරව අප එහි ආ බව මවට හැඟවෙන ආකාරයෙනි.

මව අපට බොන්නට යමක් හදාගෙන එනු පිණිස කුස්සියට වැදුණු පසු මිතුරා තවත් රහසක් හෙළි කළේය.

‘හරි වැඩේ වෙලා තියෙන්නෙ අම්මට දැනෙන හින්ද පුටු ගේන්න විදිහකුත් නෑ. ඒ තියා ගේ අස්පස් කරන්ඩත් බෑ. පේනව නේද පුතාලගේ පොත් මේ හැම තැනම’ ඔහු පොත් පත් අස් කරන්නට වූයේ ය.

අපි සිනාවෙන් සියල්ල විඳ ගතිමු.

අප දැනගත් ආකාරයට මව ගේ දූ පුතුන් තිදෙනා මව පුදුම කරවන උපන් දින සාදයේ කටයුතුවල යෙදී සිටින්නේ ඉතා සූක්ෂ්මව ය. ඒ අනුව තව මොහොතකින් විශේෂ අමුත්තන් පිරිසක් මෙහි ඒමට නියමිත ය. ඔවුන් වූකලි ඇය මීට කලින් වැඩ කර සේවයෙන් සමුගත් වැඩපළෙහි තවමත් සේවයේ යෙදී සිටින ඇගේ හිතවතුන් පිරිසකි. ඇය මීට දස වසරකට පෙර ඉන් සමුගෙන ඇත්තේ තම මුනුබුරු මිනිබිරියන් වෙනුවෙන් කාලය මිඩංගු කරනු පිණිස ය. එහෙත් සිය වැඩපළේ හිතවතුන් පිරිස ගැන ඇය නිතර දෙවේලේ සිහිපත් කරමින් සිටියා ය. ඇගේ වැඩපළේ හිතවතුන් කණ්ඩායම ඇයට රහසින් මෙහි කැඳවන්නට දරුවන් තිදෙනා කටයුතු කර තිබුණේ එහෙයිනි.

මේ මව සහ පියා සිය දරුවන් වෙනුවෙන් මහත් සේ කැපවූ මාපිය යුවළකි. දරුවන්ට මහන්සි වී ඉගැන් වූ ඔවුහු ඔවුන් රැකියා ලැබ විවාහ වූ පසු ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් ද තම යුතුකම් ඉටු කරන්නට සැදී පැහැදී සිටියහ. දරුවන් තිදෙනා රැකියාවල ගිය පසු මුනුබුරු මිනිබිරියන්ට පිළිසරණ වූයේ මේ මවත් ඇගේ සැමියත් ය.

බොහෝ කොට මේ මුනුබුරු පිරිස පාසල් කරා කැඳවාගෙන ගියේ මේ වියපත් යුවළ ය. ඔවුන් සතුව රියක් තිබීම විශේෂ සහනයක් විය. ඔවුන් කෑවේ බීවේ ද මුනුබුරන් පාසල් කරා ගෙන යමින් සහ ආපසු කැඳවාගෙන එමින් සිටියදීය.

එක් මිනිබිරියක් පිහිනුම් කටයුතු සඳහා කැඳවාගෙන යා යුතු වූයේ පාන්දරය. තවත් අයකු සංගීත පන්තියට ඇරලිය යුතු වූයේ රාත්‍රියේය.

ඊළඟ මොහොතේ විශේෂ ආරාධිත අමුත්තෝ දරුවන් ගේ මව ඉදිරියේ පෙනී සිටියහ.

‘ආ ඔයාල මෙහෙ! ආ හරි පුදුමයි’ ඔවුන් දුටු මව විස්මය පළ කළා ය.

‘ඔයාට සුබ උපන් දිනයක් වේවා!’ අමුත්තෝ මුව පුරා සිනාසීගෙන ඇයට ආශිංසනය කළේ තෑගි බෝග ද අතැතිවය.

‘අනේ ඔයාල දැක්ක එක මට හරි සතුටක්. ඒත් මේ ඔක්කොමල එකට ආවෙ කොහොම ද?’ එසේ අසමින්ම ඇය කටයුතු රහසේ සංවිධානය කළ සිය දරුවන්ට හුරතල් බැණුමින් සංග්‍රහයක් ද කළා ය.

‘මං හිතුව මොකක්හරි මෙතන කුමන්ත්‍රණයක් සිද්ධ වෙනව කියල. බලන්ඩකො මුං කරල තියෙන වැඩේ! කෑමකට පිට යන්ඩ තියනව කියල මට හොඳ ඇඳුමක් ඇඳ ගන්ඩ කියල කිව්ව. මං ඇහුව කොහෙද යන්නෙ කියල. ඒත් කිව්වෙ නෑ. මේක තමයි හොරේ.’

මව දරුවන්ට කෑගසන විට සැමියාත්, දරුවෝත් අමුත්තෝත් හඬ නඟා සිනාසුණහ. මුනුබුරු මිනිබිරියෝ ද හොඳින් විනෝද වූහ.

‘හැබැයි, ඔයාල දැක්කම මට ඇතිවෙච්ච සතුට කියල නිම කරන්ඩ බෑ. අනේ අපේ කොච්චර ලස්සන කාලයක් ද වැඩපළේ ගත කෙරුවෙ. මං අයින් වෙල ආවෙ හිතකින් නෙමේ. මේ ගොල්ලො ඔයාලව මෙහෙම එකතු කෙරුවෙ මං ඔයාල ගැන හැම තිස්සෙම මතක් කරන නිසා වෙන්න ඇති.’

ඇය එසේ සතුටට පත් වුව ද ඇගේ හිතේ ලොකු ප්‍රශ්නයක් ද විය. ඇය දරුවන් වෙත හැරී රහසින් ඒ ප්‍රශ්නය දිග හැරියා ය.

‘ඒත් ළමයිනේ අපි මේගොල්ලන්ට දැන් සංග්‍රහ කරන්නෙ කොහොම ද? අපේ කිසිම සූදානමක් නෑනෙ’

දරුවෝ සිනාසෙමින් ගෙය පිළියෙල කරන්නට වූහ. වුවමනා පුටු ටික ද ආවේ ය. අසල්වාසීන් හට්ටි මුට්ටි උස්සාගෙන ආවේ ද සිනාසෙමිනි. අහර සුවඳත් පරිසරය පිරී ගියේ ය.

‘ඔයාලත් එහෙනං මේ කුමන්ත්‍රණේට හවුල් නේද?’ මව අසල්වාසීනට ද සොඳුරු චෝදනාවක් එල්ල කළා ය.

ඉතා ඉක්මනින් කෑම මේසය පිළියෙල විය.

දරුවෙක් දිය බඳුන ගෙනැවිත් මවට පෑවේ ‘අම්මෙ දැන් ඔයාගෙ හැත්තෑවෙනි උපන් දින සාදෙට ආපු අමුත්තන්ට කෑමට ආරාධනා කරන්න’යි කියමිනි.

‘අනේ මගෙ කට!’ ඇය දිය බඳුන අතට ගත්තේ බොරු තරහක් මවාගෙනය.

සංග්‍රහය ඇරැඹිණ.

රහසේම ගෙදරට ආ කැලිප්සෝ සංගීත කණ්ඩායම උපන් දින සාදයට මියුරු සංගීතයක් එක් කරන්නට වූහ.

මවගේ උපන් දින සාදය අම මිහිරෙන් පිරී ගියේ ය.

‘මං කවදාවත් මෙච්චර සන්තෝස වෙලා නෑ. මගෙ දරුවො මාව උපරිම විදිහට සතුටට පත්කළා!’ මව මිහිරි බස් තෙපලමින් සිනා පෑවා ය.

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති නෙළුම්විල පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

silumina.lk


More News »