පුංචි හිත

2016-11-11 11:42:00       725
feature-top
පහේ ශිෂ්‍යත්ව විභාගය ලියා අවසන් කළ දරුවා විභාග මධ්‍යස්ථානයෙන් පිටව පාසලේ ප්‍රධාන ගේට්ටුව කරා ආවේ ය.

සිය ගණන් මාපියෝ එතැන රැස් කකා සිටියහ.

ඒ අතර තමාගේ මවත් පියාත් සිටිනු ඔහුට පෙනිණ.

‘කොහොමද මගෙ පුතේ?’ ඒ මව ය.

‘විභාගෙට හොඳට ලිව්ව නේද?’ ඒ පියා ය.

කිසිදු පිළිතුරක් නොදුන් දරුවා බලා සිටි කවුරුත් පුදුමයට පත් කරමින් ආපසු විභාග මධ්‍යස්ථානය වෙත හැරී එතැනම දණ ගසා තුන් වරක් දොහොත් මුදුන් දී වැඳ නැගිට ගත් හැටියේම මවත්, පියාත් අතරින් සුරුස් ගා රිංගා පාරට පැන නොපෙනී ගියේ ය.

‘කොහෙද පුතේ මේ දුවන්නෙ? ඔහොම ඉන්ඩකො’ මවත් පියාත් ඔහු සොයමින් සෙනඟ පීරා ගෙන පාරට ආහ. එහෙත් දරුවා පෙනෙන්නට නොවී ය.

දරුවාගේ දිවිල්ල නැවතුණේ පාසලේ සිට කිලෝමීටරයක් පමණ දුරින් තිබූ සිය නිවෙස ඉදිරියේ ය.

මාපියන් ගෙදර එන විට දක්නට ලැබුණේ දරුවා සිය දෑත ඉහළට විදහා තුරු ලතා අතරින් අහස දෙස බලා සිටින අයුරු ය.

ඒ දසුනින් ගොළු වූ මාපියෝ නිහඬව උනුන් මුහුණු නිරීක්ෂණය කළෝය.

දැන් ඉතින් ඒ මහා බර අවසන් ය. වෙහෙස මහන්සිය අවසන් ය. අමතර පන්ති, පාඩම් වැඩ, ගුරු දෙගුරු නියෝග, බල කිරීම් ඇනුම් බැණුම් අවසන් ය.

බලෙන් උදුරා ගන්නා ලද සැහැල්ලුව ජීවිතයට ළඟා වෙමින් තිබේ. දුව පැන නැටිය හැකි ය. කෙළි සෙල්ලම් එමට ය. රූපවාහිනිය විවෘත ය. අලුතින් හුස්ම ගත හැකි ය.

දරුවාට එසේ හිතෙන්නට ඇත.

මාපියන් ද නිහඬ වූයේ ඔවුන්ට ද එය හැඟුණු නිසා විය යුතු ය.

බිංගිරියේ, කොස්වත්තේ, විශ්‍රාමලත් ආචාර්ය සාම විනිසුරු ඩී. එන්. දිසානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

silumina.lk


More News »