මවු කඳුළ

2016-11-07 11:45:00       727
feature-top
හුදෙකලාව වෙසෙන අත්තම්මා කෙනෙක්මි.

සේවාවෙන් ඉසිඹු ලැබුව ද විශ්‍රාම වැටුපක් නොලැබෙන්නේ රජයේ රැකියාවක් නොකළ හෙයිනි. ලැබුණේ අර්ථසාධකය පමණි.

මේ හේතුවෙන් ඉදිරි ජීවිකාව කරගෙන යෑමට නගරයේ ගොඩනැඟිල්ලක කුඩා කොටසක් ලබා ගෙන ඡායාරූප ශාලාවක් ඇරැඹීමි. එහි ම පදිංචි වීමි.

මේ හේතුවෙන් මට ස්වාධීනව ජීවත්විය හැකි විය.

ම’පුතු ව්‍යාපාරිකයෙකි. පියෙකි.

ඔහු දිනපතා මා වෙසෙන තැන ඉදිරියෙන් සිය රියෙන් එහා මෙහා යයි. මාස කිහිපයකට වරක් පැමිණ වැඩ අධික බව කියා සුළු මොහොතකින් පිටව යයි.

ඉකුත් දිනෙක මට තකහනියේම ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට යෑමට සිදු විය. ඊට හේතු වූයේ මා ජීවනෝපාය සලසා ගන්නා පරිගණක මැෂිම අක්‍රීය වීම ය. ඊට වයිරසයක් ඇතුළු වී තිබිණි. වයිරසය ඉවත් කරවා ගෙන, වයිරස් ගාඩ් එකක් ද දම්මවා ගත යුතු විය. එහෙයින් මම පරිගණක මැෂිම ද ඔසවා ගෙන බසයක නැඟී ඔහු ගේ ව්‍යාපාරික ස්ථානයට ගියේ මගේ වයසට ඔරොත්තු නොදුන්න ද එය මා කළ යුතුම දෙයක් වූ බැවිනි. පරිගණකය යථා තත්ත්වයට පත් නොකර ගත හොත් මගේ දෛනික ආදායම ද නතර වන්නේ ය.

මා එහි යන විට ම’පුතු නොසිටියේය. ඔහුගේ අසුනේ හිඳ සිටියේ බිරිය ය.

මම පරිගණකය බාර දී එය යථා තත්ත්වයට පත් කර දෙන තුරු එහි රැඳී සිටියෙමි.

පැය බාගයකට පමණ පසු මගේ ලොකු මිනිපිරිය ටියුෂන් පන්තිය ඇරී එහි ආවා ය. මා දුටු ඇය ‘ආ අත්තම්මා කොහොමදැ’යි අසා ගෙන ඇතුළට ගොස් සිය දුරකථනය ඔබමින් මඳ වේලාවක් රැඳී සිට සිය මවට රහසක් කියා පිටව ගියා ය.

මට පිපාසයකුත්, බඩගින්නකුත් දැනිණ. එහෙත් එය පාලනය කර ගතිමි.

මීට වසර කිහිපයකට පෙර මා මෙහි ආ විට ලොකු මිනිපිරියගෙන් ගැලවිල්ලක් නොවී ය. තමා ප්‍රිය කරන කෑම බීම රැගෙන දෙන්නැයි ඇය කළ ඉල්ලීම් මම සතුටින් ඉටු කළෙමි. දැන් ඇය ලොකු ය. පෙරට වඩා මුදල් - හදල් ඇත.

ටිකකින් ඇය ආපසු ආවේ පලතුරු මුසු හිම කිරම බඳුනක් ද රැගෙන ය.

මා පසු කරගෙන ඇතුළට ගිය ඇය එහි හිඳ එය රස විඳින්නට වූවා ය.

කුසගින්නේ සිටි මගේ හිතට දුකක් දැනිණ. දෑස පොඟා ආව ද මම එය පාලනය කර ගතිමි.

සමහර විට ඇගේ මව මගේ දෑසෙහි වෙනස දකින්නට ඇත. ඇය සිය දියණියට ළං වී රහසක් කීවේ එනිසා විය යුතු ය. දියණිය ද මට හසු නොවන මානයට ගියේ එනිසා විය යුතු ය. ටිකකින් ඇය පැමිණ හිස් ප්ලාස්ටික් බඳුන මා අසල තිබූ කුණු කූඩයට දැම්මා ය.

ඒ ටිකකින් මට මගේ පරිගණක මැෂිම ආපසු ලැබිණ. මම රුපියල් දහසකට වැඩි ගෙවිය යුතු මුදල ගෙවා යළි එය ඔසවාගෙන බසයක නැඟී ආපසු ආවෙමි.

ආ හැටියේ වතුර වීදුරුවක් බිවූ මට හැඬිණ. මම ඒ හැඬුමට ඉඩ දුනිමි. මට හඬ නඟා හැඬිණි.

මා මේ කතාව ලියුවේ මීට පෙර නෙළුම් විලක ‘ලොකු මිනිපිරිය’ නමැති ලිපියක් කියවීමෙනි.

උකුවෙල පෙදෙසෙහි නෙළුම්විල පාඨක මවක විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි. නම ගම ද ලියා එවා තිබේ.

silumina.lk


More News »