දුම්රිය අවනඩුව

2016-11-04 10:25:00       723
feature-top
උදෑසනකි‍. මම වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ තුන්වැනි වේදිකාවේ සිටියෙමි.

කන්ද උඩරට පැත්තට යන සෑහෙන සෙනඟක් සිය දුම්රිය පැමිණෙන තුරු එහි රැඳී සිටියහ.

මහනුවර සහ බදුල්ල බලා ධාවනය කැරෙන ශීඝ්‍රගාමි දුම්රිය තුන්වැනි වේදිකාවට ළඟා වන බව නිවේදනය කෙරෙත් ම මගීහු යුහුසුලු වූහ.

ටිකකින් දුම්රිය එහි පැමිණ නැවැත්වීය.

ඒ සමඟම ඉන් බසින මගීන්ගෙන් හා ඊට නැඟීමට සැරසෙන මගීන්ගෙන් පා පුවරුවල තදබදයක් ඇති විය.

මේ දුම්රියේ මැදිරිවල පාපුවරු සැකසී ඇත්තේ සාමාන්‍ය දුම්රියක පාපුවරු මෙන් නැගීමට හා බැසීමට පහසු ආකාරයට නොවේ. ඉණිමගක මෙන් පොළොවට ලම්බකව පඩි ඇතුළට කැපී යන ආකාරයටය. එහෙයින් දුම්රියෙන් බසින වැඩිහිටි අයට විශේෂයෙන් දණහිස් අමාරු ඇති අයට බැසීමට වෙලා ගතවෙයි. දුම්රිය අද්දවනු ඇතැයි තැති ගැන්මට පත්වන මගීන් බසින මගීන් තෙරපාගෙන නැගීමට ද පෙලඹෙනු පෙනේ.

ඉතින් මෙවිට ද මගේ ඇස්පනා පිට ම එය ම සිදු විය.

වැඩිහිටි මවක සහ කුඩා දරුවකු දුම්රියට නැගීමට උත්සාහ කරද්දී දුම්රිය හෙමිහිට ඉදිරියට ඇද්දී ගියේ ය. ඔවුන් වැටෙති’යි බිය පත් වේදිකාවේ හුන් මගීහු කෑගාන්නට වූහ. එවිට මම ඔවුන් අල්ලා ගැනීමට ඉදිරියට පැන්නෙමි. තවත් කිහිප දෙනෙක් ද එසේ පැන්නාහ. කෙසේ හෝ ඔවුන් බේරා ගැනීමට අපට හැකි විය.

මේ කලබලය ඇසී දුම්රිය ආරක්ෂක නියාමකවරියෝ දෙදෙනෙක් අප සිටි තැනට දුව ආහ. ඉන් එක් නියාමකවරියක් ඒ වන විටත් තැති ගත්වනම සිටි අර වැඩිහිටි මවට දොස් කියන්නට වූවාය. එයින් ඒ මව වඩාත් අපහසුතාවට පත් වූවාය.

ඉවසා බැරිම තැන මම ඒ නියාමකවරියට එරෙහිව කතා කළෙමි.

‘මේ අයට ඔහොම දොස් කියන්ඩ එපා! ඒ අය ආවෙ කෝච්චියෙ නැගල ඒ අයගෙ ගමන යන්ඩ. තදබදේ නිසයි නැගගන්න බැරි වුණේ. ඒක වුණේ මිනිස්සුන්ට කෝච්චියෙන් බැහැගන්න වෙලාව ගිය හින්දයි. ඒ හින්ද නැගගන්නත් වෙලාව ගියා. ඒ අස්සෙ කෝච්චියත් ඇද්දුව. දුම්රිය ආරක්ෂක නියාමකවරු හැටියට ඔය ගොල්ලො කෝච්චිය එන්න කලින් වේදිකාවට ඇවිල්ල මේ තත්ත්වය බලන්ඩ ඕනැ. ඔයගොල්ලො රස්සාවට ඇවිල්ල ඉන්නෙ ජනතාවට සේවය කරන්ඩනෙ? කෝ ඉතින් ආව ද? අපි මේ අයව බේරගත්තට පස්සෙ තමයි ආවෙ. ඒ ඇවිල්ලත් ඒ අයට ම බණිනව! කරුණාකරල මීට පස්සෙවත් තමන්ගෙ රාජකාරිය හරියට කරන්ඩ ඉගෙන ගන්ඩ!’

මා එසේ කී පසු ඇය කළේ මා අවතක්සේරුවට ලක් කරමින් දරුණු අවඥාවකට ලක් කිරීම ය.

මෙපමණ සිද්ධියක් වී තිබියදීත් ප්‍රධාන ආරක්ෂක නියාමක එහි නොපැමිණියේ මන්දැයි මම නොදනිමි.

පුරවැසියකු හැටියට මගේ යුතුකම ඉටු කර තිබියදීත් නියාමකවරියගේ වචනවලින් හිත් රිදීමට පත් මම ඊට අදාළව දුම්රිය ස්ථානාධිපතිට පැමිණිල්ලක් කළෙමි.

මගේ පැමිණිල්ල රාජකාරි සටහන් පොතේ ලියැවුණු ඉක්බිති මම ඔහුට ස්තුති කොට මගේ ගමන ගියෙමි.

පැමිණිල්ල සිදු කොට මසකට පමණ පසු දෙමටගොඩ ආරක්ෂක නියාමක කාර්යාලයෙන් මට දුරකථන ඇමතුමක් ලැබිණ. ඉන් කියැවුණේ සිද්ධියට අදාළ කටඋත්තරයක් ගැනීමට පැමිණෙන ලෙස ය. මම ඒ වගකීම ද ඉටු කළෙමි.

සතියක් පමණ ඉකුත් වී ගියේ ය.

මට වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ඇමතුමක් ලැබිණ, සංවාදය මෙබඳු ය.

‘මහත්තය, යමින් ගමන් ආයෙ මේ පැත්තෙ එනව ද?’

‘ඇයි?’

‘මහත්තය පැමිණිල්ල ලියපු පොත නැතිවෙලා. මහත්තයට ආයෙත් පැමිණිල්ලක් දාන්ඩ වෙනව.’

‘අපූරුයි! පැමිණිලි පොත ආරක්ෂා කරගන්ඩ බැරි නං මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නෙ කොහොම ද?’

සංවාදය ඉන් නිමා විය.

සිද්ධිය සම්බන්ධයෙන් මා කළ පැමිණිල්ලට මාස හතරක් පමණ ගත වී තිබේ.

සියල්ල යටගිය අපූරුව බලන්න!

දුම්රියෙන් කොළඹ යෑම සඳහා විටින් විට මම මෙහි එමි.

තුන්වැනි වේදිකාවේ තවමත් ප්‍රදර්ශනය වන අපූරු බැනරයක් ද මම දකිමි. දුම්රිය සාමාන්‍යාධිකාරි පිළිගැනීම වෙනුවෙන් එහි මෙබඳු කවියක් ලියා තිබේ.

ආරිය කුල සිරිත් ගරු කරමින් යසින

කාරිය ඉටු කරන සැමටම සම ලෙසින

වීරිය රැගෙන දුම්රිය සේවය නගන

ආරිය රත්න මැති පිළිගමු හද බැතින

ආරියරත්න මැතිඳුනි ‘කාරිය’ ඉටු කරනු මැනවි.

දෙහිවල නිකපේ, ආර්. ඒ. ඩී. ජයරත්න මහතා විසින් යොමුකරන ලද ලිපියක් ඇසුරෙනි.

silumina.lk


More News »