කඳුළු පිස දැමීම

2016-10-31 11:57:00       729
feature-top
මම පාසල් යමින් සිටියෙමි.‍ ගෙදර සිට පාසලට තිබූ හැතැප්ම එක හමාර මා ගියේ පයිනි.

පාසල පෙනෙන මානයේදී මට පන්ති සගයකු මුණ ගැසිණ. ඔහු මට කිට්ටු වූයේ කුහුලිනි.

“අපේ ශිෂ්‍යත්වෙ ප්‍රතිඵල ඇවිල්ල!” ඔහු වැඩිහිටියකු ගේ තරම් තැන්පත් හඬකින් කීවේ ය. මම ගොළුවතින් යුතුවම ඔහු දෙස බලා සිටියෙමි.

“උඹයි මායි දෙන්නම පේල්” ඔහු සිය කටහඬ ගිල ගත්තේ ය.

මගේ කොඳු ඇට පේළිය ස‍ීතල වී ගෙන ගියේ ය.

“උඹ කොහොමද දැන ගත්තෙ?” මම වෙව්ලුම් හඬක් නැඟීමි.

“ඇයි බං ඊයෙ හවසනෙ ඇවිල්ල තිබුණේ. ආරංචියට ඉස්කෝලෙ කිට්ටුව තියන ගෙවල්වල අය ගිහිල්ල අහල. ඒ ආරංචියට අපේ අම්මත් ගිහිල්ල. ලොකු මහත්තය පාස් ළමයින්ගෙ නම් කියෙව්වලු.”‍

දැන ගන්නට දෙයක් නැත. ඔහු සියල්ල කීවේ ය.

අප පාසල් ගේට්ටුවෙන් ඇතුළු ව‍ූයේ ගොළුවන් සේ ය.

අප දෙදෙනාටම පන්තියට ඇතුළු වීමට තරම් ආත්ම ශක්තියක් නොවී ය. එහෙයින් අපි පිටත නැවතී කොට බිත්තියට උඩින් පන්ති කාමරය දෙස බලා සිටියෙමු.

පාස් අය ඇඳුමෙන් ම කිව හැකි ය. අලුත් ඇඳුම් ඇඳ සිටි පන්ති සගයෝ කිහිප දෙනෙක් ගුරුතුමිය වට කරගෙන උස් හඬින් කතා කරමින් සිටියහ.

වැඩි දෙනා අප මෙන් ම තැන තැන ගොළුව සිටියහ.

ගුරු මහත්මිය නමක වාසගමක් කියවා ඒ කාගේ වාසගම දැයි ඇසුවා ය. ගෑනු ළමයෙක් ඒ වාසගම තමන්ගේ බව කියමින් ගුරු මහත්මිය ඉදිරියට ගියා ය. අලුත් ඇඳුමක් හැඳ සිටි ඇගේ මුහුණ ද විකසිතව තිබිණ.

ටිකකින් ගුරු මහත්මිය මා කැ‍ඳෙව්වා ය.

“ඔය ළමයගෙ වාසගමත් එක්ක සම්පූර්ණ නම කියන්න!”

මම කීමි.

“ඔය ළමයත් පාස්” ගුරුතුමිය එළිය වූ මුහුණින් කීවාය.

“මේ මම? මම පාස් ද?” මට ඇසිණ.

“මේ ගෑනු ළමයගෙයි ඔය ළමයගෙයි වාසගම් දෙක එකයිනෙ. සම්පූර්ණ නම බලපුවම ඔය ළමයා තමයි පාස්”

එතෙක් විකසිතව තිබූ ගැහැනු ළමයාගේ මුහුණ බලා සිටියදීම මුකුලිත විය.

මම සතුටින් පිම්බෙන්නට වීමි.

පාසල ඇරුණු හැටියේම මා ගෙදර දුව ගියේ ආරංචිය දෙන්නට තිබූ නොඉවසිල්ල බලවත්ව තිබූ හෙයිනි.

“අම්මේ, මං ශිෂ්‍යත්වෙ පාස්!”

මගේ හඬ ගෙය විනිවිද හාත්පස පැතිර ගියේ ය.

අම්මා මා බදා ගත්තා ය. සහෝදර ‍සහෝදරියෝ ද සතුටු වූහ. හවස ගෙදර ආ තාත්තා ද සන්තෝසයෙන් මගේ හිස අත ගෑවේ ය. නෑයෝ ද, අසල්වැසියෝ ද මා පැසසූහ.

ශිෂ්‍යත්වය සමත් වීමෙන් මා ලද සතුට එතැනින් නැවතුණේ නැත.

පසුව සාමාන්‍ය පෙළ ද, උසස් පෙළ ද සමත්ව උපාධිය ලැබුව ද ඒ කිසිම අවස්ථාවක නොලද තරම් සතුටක් මට ශිෂ්‍යත්වය සමත්වීමෙන් ලැබිණ. ඒ තබා පසුකාලීන විභාගවලට පෙනී සිටීමේ ජවය ද ශක්තිය ද මට ලැබුණේ ශිෂ්‍යත්ව ජයග්‍රහණයෙනි.

මට මගේ ශිෂ්‍යත්ව අතීතය සිහිපත් වූයේ නොබෝදා ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් සිසු දරු දැරියන් පිරිසක් හඬා වැටෙනු දුටු විට ය. ඔවුන් සමඟ ඔවුන්ගේ මාපියෝ ද හඬා වැටුණහ.

ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් ව‍ු ලක්ෂ ගණන් දරුවෝ හැඬූහ. එසේ කඳුළු හැළුවේ රටේ අනාගතය බව සිතුණු විට මා සිත සසල විය.

ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පත්‍ර දෙකට ලකුණු 200 ක් ලැබෙයි. ඉන් සමත් වන්නට දළ වශයෙන් ලකුණු 80% ලැබිය යුතුයි.

සාපෙළ විභාගයේදී ලකුණු 35% ක් ගත් විට සමාර්ථයක් ලැබෙයි. එහෙත් ශිෂ්‍යත්වයේදී ඊට දෙගුණයක් වැඩියෙන් ලකුණු ගත් අය ද අසමත් ය. එහෙයින් වාර්ෂිකව හඬා වැටෙන දරු දැරියන් ලක්ෂ ගණනකගේ කඳුළු පිසින්නට පුරවැසියකු හැටියට මම යෝජනාවක් කරමි.

ශිෂ්‍යත්වයෙන් 35% ක් ලබා ගන්නා අය ද සමත් අය සේ සලකමු. පාසල්වලට ඇතුළත් කර ගැනීමේ දී ඒ ඒ පාසල්වල මට්ටම අනුව ඉහළම තලයේ සිට පහළට දරුවන් තෝරා ගනිමු. එවිට ඉහළ පාසල් නොලැබුණොත් යම් හැකියාවක් පෙන්වූ සාමාන්‍ය දරුවකුට වුව ශිෂ්‍යත්වය සමත්ය යන සතුටින් යුතුව තමන් යන පාසලට හෝ යා හැකි ය. එමඟින් බහුතරයක් දරුවන්ගේ කඳුළු පිස දැමිය හැකි ය. ඔවුන්ගේ මාපියන්ට ද ඥාතීන්ට ද සැනසුමක් ලැබිය හැකි ය. ශිෂ්‍යත්ව ප්‍රතිඵල ආ පසු වාර්ෂිකව හඬා වැටෙන දරුවන්ගේ සංඛ්‍යාව අවම කළ හැකි ය.

ඊළඟ වසරේදී තවත් දරුවන් ‍ලක්ෂ ගණනක් හඬවනවාට වඩා මෙබඳු විකල්පයක් හොඳ නැද්දැයි සොයා බැලීම බලධරයන්ගේ වගකීමකි.

අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති රත්නපුර ප්‍රදේශයේ විධායක නිලධාරියකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

.silumina.lk/


More News »