සොයුරු බැම්ම

2016-10-24 01:39:00       723
feature-top
මා රාජකාරියේ නිරත ව සිටිය දී අම්මා ගෙන් දුර ඇමතුමක් ආයේ ය.

වචනයක් දෙකක් කතා කළා පමණි. ඇය හිටි හැටියේ ම අඬන්නට තියා ගත්තා ය.

‘ඇයි අඬන්නෙ?’ මම පුදුමයෙන් ඇසීමි.

‘දැනුත් ලොකු ඇවිත් මට ඒව මේව කියල ගියා. වැරැද්දකට කෙළින් බණිනව නම් ඉවසතෑකි. ටික ටික කොනිත්තන එක තමයි දරන්ඩ බැරි’

මම ඒ ගමන් ම ලොකු අයියාට ඇමතුමක් ගෙන හිතේ කේන්තිය පිට කර ගතිමි.

ඔහු ද මට කෑගැසුවේ ය.

‘මොකක්ද මද්දු මල්ලියෙ මං කරපු වැරැද්ද? අපූරුයි කතාව! දරුවො රොත්තක් හැදුවට උං එන්නෙ මාසෙකට දෙහෙකට වතාවක්නෙ. මං එපෑ උදේ දවල් රෑ ගිහිං උන්දැගෙ දුක සැප බලන්ඩ. ඔව් ඉතින් නිතර දකින කුකුළගෙ කරමලේ සුදුයිලුනෙ’

‘ඕවයින් වැඩක් නෑ. සැරෙන් සැරේ ගිහිං අම්මගෙ හිත කොනිත්තන එක නවත්තල දාන්ඩ බැරි නං ඊට වැඩිය හොඳයි එහෙ නොයන එක.’

මම ඇමතුම විසන්ධි කළෙමි.

මේ හුටපටය නිසා මගේ රාජකාරි වැඩ ද අවුල් විය.

මම හිත එකලස් කර ගැනීමට මේසය මත හිස ඔබා ගතිමි.

එකෙණෙහි ම මගේ හිත අතීතයට ඉගිළ ගියේ ය.

අප පුංචි සන්දියේ අපේ ගෙදර පාලනය කළේ අම්මා ය. තාත්තා උදේ සිට රෑ වෙනතුරු ඉස්තෝප්පු කාමරයට වී වෙදකම් කළේ ය. එහෙයින් ගෙදර පාලනය ඉබේ ම අම්මා අතට පත් විය.

අම්මා ගෙදරින් පිටට අඩියක්වත් තබා නැති ගාන ය. නිතර දෙවේලේ කඩමණ්ඩියට ගොස් වුවමනා බඩු මුට්ටු ගෙනාවේ පැටි වියේ සිටි ලොකු අයියා ය.

‘ලොකු මේ සල්ලි ටික අරං කරෝල කඩේට ගිහිං මං කිව්ව කියල හොඳ කරෝල කෑල්ලක් ගේනව’

ඒ ඇසිල්ලෙන් ලොකු අයියා කඩේ දුවයි. කඩ මණ්ඩියට හැතැප්ම එක හමාරක් පමණ දුර තිබුණ ද අයියා කරෝල කෑල්ලකුත් ඔතාගෙන ගිය පිම්මේ ම ආපසු එයි.

‘මේ මොකක්ද ගෙනත් තියෙන‍්නෙ? මේක හරි නෑ. මේක ආපහු දීල හොඳ කෑල්ලක් අරගෙන එනව’ අම්මාගේ නියෝගයත් සමඟ අයියා ආ පස්සට විසි වෙයි. ඊළඟට ඔහු ගේන කරෝල කෑල්ල ද අම්මා ගේ හිතට නාල්ලයි.

‘මේකෙ ලුණු බැහැලනෙ. මේක හරි නෑ, හොඳට වේළිච්ච එකක් ගේනව!’

අම්මා ගේ හිතට අල්ලන කරෝල කෑල්ල ගෙන ඒමට අයියාට හතර පස් වතාවක් කඩේ දුවන්නට සිදු වෙයි.

ඒ තබා සෙරෙප්පු ජෝඩුවක් වුවමනා වූ විට ද අම්මා යවන්නේ ලොකු අයියා ය. කී හැටියේ බෑ නොකියා වැඩේ බාර ගැනීම ඔහුගේ ද සිරිත ය.

ලොකු අයියා මුලින් ම ගේන සෙරෙප්පු ජෝඩුව කොහොමත් අම්මාට අල්ලන්නේ නැත.

‘‍මේ මොකක්ද? ඔයා දන්නෙ නැද්ද මං ඔය ජාතියෙ ඒව දාන්නෙ නෑ කියල. ගිහිල්ල ඕක මාරු කරගෙන එනව!’

අයියා ඊළඟට ගේන සෙරෙප්පු ජෝඩුවට අම්මා ප්‍රතිචාර දක්වන්නේ යටි තොල නොපිට හරවමිනි.

‘මේකත් එපා. ළා රෝස පාට හරි කහපාට හරි දෙකක් ගේනව’

අයියා ද කීකරු සේවකයකු සේ ආපසු දුව ගොස් කඩය අනිත් පැත්ත පෙරළා ‍හෝ අම්මා කියන ජාතියේ සෙරෙප්පු ජෝඩුවක් රැගෙන එයි.

‘ආ ඒ හොඳා’ අවසානයේ අම්මා ගේ මූණට එළියක් වැටෙයි. ඒ එළියෙන් ලොකු අයියා ගේ මූණ ද එළිය වෙයි.

අප කුඩා සන්දියේ කොටින් ම අපේ තාත්තා වූයේ ලොකු අයියා ය. ගෙදර දොරේ බර වැඩ කළේ, දර පැළුවේ, වතුර ඇද්දේ එළවළු කොටුව කළේ ලොකු අයියා ය. අප පාසල් කැඳවා ගෙන ගියේ ද හවස තේ හදා දුන්නේ ද අම්මා අසනීප වූ ඇතැම් දිනවල දවල්ට රෑට ඉව්වේ ද ලොකු අයියා ය.

ඒ සියල්ල කරමින් ම ඔහු ඉගෙන ද ගත්තේ ය. ඉගෙනීම ද ඔහුට අපූරුවට පිහිටා තිබුණේ ය. තාත්තා මිය යන විට ලොකු අයියා උසස් පෙළ සමත් වී රැකියාවක් ද කර අප පෝෂණය කරමින් සිටියේ ය.

ලොකු අයියා පවුල් ජීවිතයක් ගැන හිතුවේ නංගිලා දෙන්නා දීග දීමෙන් පසුව ය. ළඟ පාතින් ඔහු සරණ බන්ධනයක් කර ගන්නා විට ඔහු ගේ තරුණ කාලය ද වියැකෙමින් තිබිණ. නිවෙසක් තනා ගැනීමට කලක් නොවූයෙන් ඔහු මනාලිය ගේ ගෙදර ම බින්න බැස්සේ ය.

බින්න විවාහයෙන් පසු අයියා වෙනස් වූයේ ය. එහෙත් උදේ දවල් රෑ සුපුරුදු පරිදි අම්මා බැලීමට ඒම කිසිසේත් නැවැත්තුවේ නැත. ඒ ආ වෙලාවල්වල මිදුල අතු ගා දුන් ඔහු දර පළා වතුර ඇද දී සමහරවිට අම්මා නාවා තේ ද වත්කර දුන්නේ ය. ඒ සියල්ල කර ගෙදර යෑමට මිදුලට අඩිය තියද්දී අම්මා තවත් වැඩක් කියන්නී ය.

‘ලොකු යන්ඩ කලින් පොල් ගෙඩියක් දෙකක් ලෙලි ගහල දානවකො. ඕව කරන්ඩ මට කම්මැළියි’

ලොකු අයියා කර බාගෙන ගොස් පොල් ගෙඩි කිහිපයක් ලෙලි ගසන විට ඔහු ගේ බිරිය ගේ ළඟට විත් ඔහුට හඬ ගසන්නී ය.

‘‍මොකද අනේ ඔයා තාම ඔහෙ කරන්නෙ? පැළවෙලා ද?’

එවිට ලොකු අයියා කිසි කතාවක් නැතිව කීකරු දරුවකු සේ ඇය සමඟ යන්නේ ය.

ලොකු අයියා බිරියට වාල්කම් කරන බව අම්මා නිතර නිතර කියන්නට වූවා ය.

මුල දී අපි අම්මාගේ කතාව විශ්වාස කර ලොකු අයියාට සිනාසුණෙමු. නමුත් පසු කාලයේ දී මම ස්වාධීනව හිතන්නට පටන් ගතිමි.

පොඩි කාලයේ සිට අයියාගේ ලෝකයේ වීරවරිය වූයේ අම්මා ය. ඔහු තුළ සැඟවී සිට ඔහු මෙහෙයවූයේ ඇය ය. අම්මාගේ නියෝගවලින් තොරව ස්වාධීනව වැඩෙන්නට අයියාට අවකාශ නොවී ය. ඔහු කළේ ඉහළින් අණ ලැබුණු සෙබළකු සේ වැඩ කිරීම ය.

මෙසේ වූයේ අයියාට ළමා කාලයේ සිට ස්වාධීනව හිතා බලා කටයුතු කිරීමට අවකාශ නොලැබීම ය.

කසාදයෙන් පසු සිදු වූයේ නියෝග දෙන්නා මාරුවීම ය. එදා අම්මා ගේ නියෝගවලට අනුව ක්‍රියාත්මක වූ ඔහු අද බිරිය ‍ගේ නියෝගවලට අනුව ක්‍රියාත්මක වෙයි. ඔහු අම්මාට කොනිත්තන්නේ හිතාමතා නොවේ. තමාට නියෝග ලබා දෙන්නා සතුටු කරනු පිණිස ය. ඒ තබා, පොඩි කාලේ සිට අම්මා තමාට වධ දුන් ආකාරය ද ඔහුට මෙනෙහි වෙනවා ඇත.

මගේ කල්පනාව බිඳී ගියේ දුරකථනය යළි නද දුන් හෙයිනි.

එවර කතා කළේ ද අම්මා ය.

‘චූටි පුතේ මොකද වුණේ?’

‘අම්මගෙ හිත රිද්දන්නෙ නැතුව ඉන්න බැරි නං අම්ම බලන්න යන්න එපා කියල මං ලොකු අයියට බැන්න’

‘හොඳ වැඩේ! එතකොට මිනිහ මොකද කිව්වෙ?’

‘මටත් බැන්න’

‘ඕව කරන්නෙ අරකිගෙ ඉගැන්නුම් බහට! එයා නටන්නෙ ඒකිගෙ පදේට’

‘ලොකු අයියට මං දොස් කිව්වෙ හිතකින් නෙමේ අම්මෙ’

‘ඇයි ඒ?’

‘එයා ඉතින් හැමදා ම කාගෙ හරි පදේටනෙ නැටුවෙ. පොඩි කාලෙ ඉඳන් කසාද බඳිනකල් ම අම්මගෙ පදේට නැටුව. දැන් නෝනගෙ පදේට නටනව. එයාට ම කියල පදයක් හදා ගන්ඩ කාලයක් තිබිල නෑ. බලපුවම ඉතිං ඒක ඒ අහිංසකයගෙ වැරැද්ද නෙමේ. එයාව නටෝන අයගෙ වැරැද්ද!’

අම්මා දුරකථනය විසන්ධි කළා ය.

අනන්‍යතාව සඟවා සිටීමට කැමති රත්නපුර ප්‍රදේශයේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

silumina.lk


More News »