දුක දිනීම

2016-10-17 12:40:00       727
feature-top
ඉංජිනේරු සිහිනය පසෙක තබා සුළු වැටුපකට හෝටල් රස්සාවකට ගිය දා ඔහුට දැනුණේ බලවත් ලජ්ජාවකි. මන්ද: ඒ වන විට ඔහු ගේ මිතුරු පිරිස ඉහළ රැකියාවල නිරත ව සිටි බැවිනි. කෙසේ හෝ රට රැකියාවකට ගොස් ආර්ථික අතින් සාර්ථක වෙමි’ යි යන අදිටන ඔහු ගේ හිතේ කිඳා බැස්සේ එදා ය.

අදිටන් කර ගත් පරිදි ම ඔහු මැද පෙරදිග රටක රැකියාවකට ගියේ ය. ඔහුට පැවරුණේ සුදු මහත්තයකු ගේ ගෙදර කෝකි වැඩකි. නිදා ගැනීමට පුංචි කාමර කෑල්ලක් ද ඔහුට ලැබිණි.

ගෙදර වැඩට තවත් සේවකයකු ගන්නට යන බවත්, ඒ සේවකයාට ද නවාතැන් ලැබෙනු ඇත්තේ තම කුටියේ බවත් දැන ගත් ඔහු සැලී ගියේ ය.

‘සර්, මගෙ කාමරේ මට විතරක් දෙන්න! ඒකෙ දෙන්නෙකුට ඉන්න අමාරුයි’ ඔහු සුදු මහත්තයාට කීවේ ය.

‘මං අලුතෙන් ගන්න යන්නෙ හවුස් බෝයි කෙනෙක්. තමුන්ට ඒ වැඩෙත් කරන්න පුළුවං නං මං කාමරේ තමුන්ට විතරක් දෙන්නං’ උත්තර ලැබුණේ ය.

‘‍හොඳයි, මං වැඩ දෙක ම කරන්නං සර්’

‘හැබැයි, මං බලන්නෙ දවස් දෙකයි. වැඩ හොඳ නැති වුණොත් හවුස් බෝයි එයි!’

එතැන් පටන් ඔහුට දෙදෙනකු ගේ වැඩ තනිව ම කරන්නට සිදු විය. ඔහු තුන් වේලට ම අහර පිසුවේ ය. ගේ දොර පිරිසිදු කළේ ය. රෙදි සේදුවේ ය. වැසිකිළි, කැසිකිළි පරිසුදු කළේ ය. උදේ සිට රෑ වන තුරු එක දිගට වැඩ කළේ ය.

ටික කලකට පසු නිවාඩු පිට ලංකාවට ආ ඔහු කසාදයක් කර ගත්තේ ය. බිරිය උපාධිධාරිනියකි.

‘පුතේ, මේ දූටත් එහෙ රස්සාවක් හොයල දීල දෙන්න ම එක තැන හිටියොත් නේද හොඳ?’ අම්මා යෝජනා කළා ය.

‘හැබැයි අම්මෙ ගෘහ සේවිකා රස්සාවක් තමයි කරන්න වෙන්නෙ’

වැඩිහිටියන් ගේ එකඟතාව ලැබුණෙන් ඔහු බිරිය ද කැන්දාගෙන මැදපෙරදිග ගියේ ය.

තම සැමියා මැද පෙරදිග සුදු බංගලාවක කරන රස්සාවේ තරම දෑහින් ම දැක ගත් බිරිය කම්පාවට පත් වූවා ය.

‘මගෙ අම්මේ ඇයි ඔයා මේ හැටි දුක් විඳින්නෙ?’ ඇය රැයක් එළිවෙනතුරු හැඬුවා ය. අනතුරුව හිත තද කර ගත් ඇය ඔහුට උර දෙන්නට පටන් ගත්තා ය.

මෙලෙස ටික කලක් ගත විය.

දරු සම්පතක් පිළිසිඳුණ දිනවල ඔහු ගේ හිත ඔහුට දිගින් දිගට ම මෙලෙස කියන්නට ගත්තේ ය.

‘ඔබ කවදා හෝ දුප්පතුන් පොහොසතුන් යා කරන පාලමක් වෙනවා වෙනවා මයි.’

මේ අතර දිනක් ඔහුට පරණ මිතුරෙක් මුණ ගැසුණේ ය. තමා එරට ‘ප්‍රමාණ සමීක්ෂක’ නමැති තනතුරක් දරන බව මිතුරා කියා සිටියේ ය.

‘මමත් ප්‍රමාණ සමීක්ෂකයකු වෙනවා’ යි ඔහු අදටන් කර ගත්තේ ය.

එරට බ්‍රිතාන්‍ය කවුන්සිලයට ගිය ඔහු ප්‍රමාණ සමීක්ෂකවරුන් තෝරා ගැනෙන විභාගයට මුදල් බැඳ අදාළ විෂයය පෞද්ගලික ව හදාරන්නට පටන් ගත්තේ ය. මාස කිහිපයකට පසු පැවති විභාගයෙන් ඔහු ඉහළින් ම සමත් විය.

ඉන් පසු හෙතෙමේ පරණ රස්සාවට ආයුබෝවන් කියා අලුත් රස්සාව කරමින් සමාගමින් සමාගමට මාරු වෙමින් ඉහළට ම නැඟුණේ ය.

ප්‍රමාණ සමීක්ෂක වෘත්තිය සුදු මහත්වරුන් ගේ බූදලයක් බවට පත් ව තිබුණ ද එහි හොඳ ම හරිය කරමින් සිටියේ ශ්‍රී ලාංකිකයන් ය. මේ තත්ත්වය වෙනස් කරනු පිණිස ඔහු විද්වතුන් ගේ මඟ පෙන්වීම අනුව අදාළ වෘත්තිකයන් බිහි කරන පාසලක් ඇරඹුව ද නීති ප්‍රශ්නයක් නිසා එය වැසී ගියේ ය.

අවසානයේ ඔහු තමන්ගේ ම ප්‍රමාණ සමීක්ෂක ආයතනයක් පිහිටවූයේ ය. එහි නම මිලක්‍රිස් ය. එය සියයට සියයක් ශ්‍රී ලාංකික ආයතනයකි.

අද එහි ප්‍රමාණ සමීක්ෂකයෝ සියයකට අධික පිරිසක් වැඩ කරති. සුදු මහත්තුරු ද ඒ අතර වෙති. ජාති ආගම් භේදයකින් තොර ව හැම සේවකයකුට ම එක ලෙස සලකන මිල්ක්‍රිස් ආයතනය අන්තර්ජාතිකව ද පිළිගැනෙන්නකි. එහි ආදායම මුළුමනින් ම ශ්‍රී ලංකාවට ගෙන ඒම ඔහු ගේ අරමුණ ය.

එදා සිය කුටිය ‍‍බේරා ගන්නට දිවා රෑ නොබලා වැඩ කළ හෙතෙමේ අද මනුෂ්‍යත්වයේ ගෞරවය රැක ගනු පිණිස ඇප කැප වී සිටියි.

‘මුල අමතක නොකරන්න! තමන්ගේ ඉතිහාසය අලුතින් නොලියන්න! සත්‍යවාදී වන්න! දුප්පතුනට සලකන්න! මේ පිළිවෙත් ඔබේ ආගම බවට පත් කර ගන්න!’ ඔහු කියයි.

ඕමාන්හි මිල්ක්‍රිස් ආයතනයේ ප්‍රධානි අනුර මිලන් ක්‍රිස්ටෝපර් ද සිල්වා මහතාණනි, ඔබ ශ්‍රී ලංකාවට පමණක් නොව උතුම් මිනිස් දහමට ද ආභරණයකි.


Wmqgd .ekSu taIshka �r� weiqfrks

More News »