දළ ඇතින්න

2016-10-14 04:34:00       724
feature-top
සමන් දෙව් අඩවියේ ගමකි.

ගමේ ඉස්කෝලයක් ඇරිණ. පුංචි දරුවෝ ඒ මේ අත විසිර ගියහ.

අතුපාරක නොපෙනී ගිය පුංචි උන් පිරිසක් අඩි පාරකින් මතු වූහ.

පිරිස ගියේ ගාටමිනි. ගඩා ගෙඩි කඩා කමිනි. කුරුල්ලන්ට එබිකම් කරමිනි. උන්ගේ කූඩු සොයමිනි.

කඳු පල්ලම් අතරින් පුංචි වතු මැදින් වැටුණු අඩි පාර තරමක් ලොකු වත්තක් මැදින් ද දිව ගියේ ය.

පොහොසතකුට අයත් ඒ වත්තේ අලි ඇතුන් කිහිප දෙනෙකු හිස් බැඳ තිබිණි.

ළමා පිරිස උන් දැක නැවතී ආසාවෙන් බලා සිටින්නට වූහ.

දළ ඇතින්න ගස් බඳිනු ලැබ තිබුණේ, ඔවුන් සමීපයේම ය.

ඇය කම්මැළි කමින් මෙන් අමු පොල් අත්තක් පයින් මඬිමින් යමක් හපමින් සිටියා ය. මැස්සන් පන්නන්නට මෙන් ඇගේ වල්ගය විටින් විට ඒ මේ අතර නැටවිණ.

‘ඒයි දළ ඇතින්න, මේං අපි ආව!’ ළමයෙක් කීවේ ය.

ඇතින්න නෑසුණාක් මෙන් තමන් ගේ පාඩුවේ සිටියා ය.

‘ඒයි දළ ඇතින්න, මේං අපි ආව’

ළමයි එක පොකුරට කෑ ගෑහ.

ඒත් දළ ඇතින්න නොවේ, ගණනකට ගත්තේ.

‘ගහමුද ගලක්?’

‘ගහමු ගහමු!’

ළමයි පුංචි පුංචි ගල් කැට අහුලා ඇතින්නට දමා ගසන්නට පටන් ගත් හ.

ඒවා ඇගේ ඇ‍ඟේ වැදී අහකට විසිවිණ.

දළ ඇතින්නට නම් වගේ වගක් නැති විය.

දරුවෝ ද ගල් සෙල්ලම දිගට ම කරගෙන ගියහ. බිය ඇරුණ ඔවුහු කෙමෙන් - කෙමෙන් ඇතින්නට ළං වී ගල් ගසන්නට වූහ.

ඇතින්න තමන් දෙස හොර බැල්මක් ලා ගෙන සිටින බව දරුවෝ නොදත් හ. ඔවුන් නැමි නැමී ගල් කැට සොයමින් ඇතින්නට ගසන්නට වූයේ සෙල්ලමින් ඔද වැඩෙමිනි.

දැරියක් තමන් අසලට ම එනු දුටු ඇතින්න වහා ඇය හොඬයෙන් ඩැහැ ගෙන තම ඉදිරි ගාත් දෙකත්, උදරයත් අතර සඟවා ගත්තා ය.

ඒ දුටු සෙසු දරු දැරියෝ ‘මගෙ අම්මෝ’ යි කියාගෙන දිව ගිය හ.

අලි බඩ යට හිර වූ දැරිය කෑ ගසා ගැනීමටවත් බැරිව බියෙන් හිරි වැටී සිටිද්දී දළ ඇතින්න කිසිත් නොවූ ගණනට පොල් අතු අගිස්සක් කඩා ගත්තා ය. අනතුරුව එය ඒ මේ අත ගසා ඉරටුවලින් පොල් කොළ වෙන් කර ගත් ඇය ඒවා ඉදිරි ගාතයකින් පාගා ඉරටු ටික පමණක් මිටියක් සේ හොඩින් ගත්තා ය.

ඉන් පසු ඇය ඉරටු මිටිය ‘චිස් චිස්’ ගා දෙපසට වැනුවා ය. හරියට ලොකු ඉස්කෝලෙ මහත්තයා වේවැල වනන්නාක් මෙනි.

භීතිය අකා මකා වී පියවි සිහිය ලැබ තිබූ දැරිය ‘චිස් චිස්’ හඬින් බිය වී හඬන්නට තියා ගත්තා ය. ඇගේ කෑ ගෑම ගණනකට නොගත් දළ ඇතින්න අර ඉරටු ඉදලෙන් ඇගේ දෙපා පොඩිවලට පහර දෙන්නට වූයේ ඈ නොරිදවීමට පරිස්සම් වෙමිනි. එසේ ඉරටු මිට පහර හත අටක් එල්ල කළ දළ ඇතින්න දැරිය ඉවතට තල්ලු කර ඇගේ පිටුපසට අන්තිම ඉරටු මිටි පහර ද එල්ල කර එය පසෙකට විසි කළා ය.

විසි වී ගිය දැරිය බිම වැටෙන්නට පෙර ඉදිරියට දුව ගියේ ‘අම්මෝ’ යි කෑ ගාමිනි. එවිට සෙසු ළමා පිරිස ද දුවැවිත් ඇය වට කර ගත් හ.

දළ ඇතින්න මෙබඳු ය. තිරිසනකු වුව හැසිරුණේ, ඉවසිලිවන්ත වැඩිහිටි කතක සේ ය.

දරු පිරිස ද ඇගෙන් හානියක් නොවන බව දැන සිටිය හ. ඔවුන් සෙසු අලින්ට නොගසා ඇයට පමණක් ගල් ගැසුවේ ද, ඇය ද ගල් පහර ගණන් නොගෙන දැරියනට තමන් වෙත ළං වීමට ඉඩ දී අයකු ඩැහැ ගැනීමට ඇස ගසාගෙන සිටියේ ද එහෙයිනි.

අසන මොහොතින් මොහොත අලුත් වන මේ කතාව අපට කීවේ අපේ අම්මා ය. ඊට මුහුණ දී තිබුණේ අපේ අම්මා ගේ අත්තම්මා ය.
 

ගම්පහ නන්ද ප්‍රියන්ත මහතා විසින් හෙළිකරන ලද සිද්ධියක් ඇසුරෙනි.

Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks

More News »