පිවිතුරු හිත

2016-10-06 11:00:00       724
feature-top
එක පන්තියේ ඉගෙන ගත් මගේ පරණ මිතුරකු නගරයේදී මට හදිසියේ මුණ ගැසිණ.

මා අසල සිය යතුරු පැදිය නැවැත්වූ ඔහු හෙල්මටය ගලවා පරණ හිනාව ම පෑවේ ය.

මා ඔහු හඳුනා ගත්තේ ඒ හිනාවෙනි. එහෙත් ඔහු‍ ගේ මුඩු හිස මා තුළ විස්මයක් ඇති කළේ ය.

‘අර ලස්සන බොකුටු කොණ්ඩෙ ට මොකද බං වුණේ?’ මම ඇසීමි.

‘පරම්පරාවෙ උරුමෙ හම්බ වුණානෙ. තට්ටෙ ආව! වටේ ටිකත් ගාල දාල ටිකක් මොඩ් වුණා. ලස්සන ද?’

‘හ්ම්! ළඟදි සිවුරු ඇරිය වගේ’

අපි දෙදෙනා ම මහ හයියෙන් සිනාසීමු.

යතුරු පැදියේ හැඬලයක ලොකු උරයක් එල්ලෙමින් තිබිණ. ඉගිළී ආ මැස්සෙක් ද එහි වැසුවේ ය.

‘මේකෙ මොනව ද?’ මම ඇසීමි.

‘කුණු’

‘කුණු?’

‘ඔව් බං කුස්සියෙ එකතු වෙච්ච ඉඳුල් අනං මනං. මේක කුණු ටැක්ටරේට දාන්නයි ආවෙ. ඒක ගිහින් වගේ. උඹ ඔහොම් ම හිටපං. මං ඕක කුණු කන්දට දාල විනාඩියෙන් එන්නං’

ඉගිළී ගිය ඔහු විනාඩියෙන් දෙකෙන් ආපසු ආවේ ය.

‘ඇයි බං මේ කුණු ටිකකට පැට්‍රල් පුච්චන්නෙ? ඕක වත්තෙ ම වළලල දැම්ම නං වත්තට ම පෝ‍ර වෙනවනෙ. මං නං එහෙමයි කරන්නෙ.’ මම කීමි.

‘පර්චස් හතළිහෙ ඉඩං කෑල්ලෙ ගේ හැදුවට පස්සෙ කුණු වළලන්ඩ කොහෙද බං ඉඩ තියෙන්නෙ? ඒ තියා මේව ලේසියෙන් දිරන්නෙත් නැහැ. ඊට මීට නරකද කුණු ගොඩකට ගෙනත් දාන එක?’

‘උඹ තරහ වෙන‍්නෙ නැත්තං මං පොඩි කාරණාවක් කියන්ඩ ද?’

‘කියපං!’

‘මාත්‍ ගේ හැදුවෙ පර්චස් හතළිහෙ ඉඩං කෑල්ලකනෙ. ඒකෙ කෙරෝලක මං පුංචියට එළවළු වගාවකුත් කරනව. ගෙදර කුණු සේර ම එතන තියන කෙහෙල් පඳුර යට වළලනව. කෙහෙල් පඳුරත් සැපට හැදෙනව. පොල්කුඩු ටික එකතු වෙන්ඩ ඇරල පොල්කටුකාරයට දෙනව. ප්ලාස්ටික් කෑලි ටික උරේක දාල ගේට්ටුව ළඟ තිබ්බ ම කුණු ට්‍රැක්ටරේ ඇවිත් අරන් යනව. ඒ විදිහෙ පිළිවෙළකට ගියොත් නරක ද?’

‘කොහෙන් ද බං ඕවට වෙලාවක්? උදේ ඉඳල රෑ වෙනකං සල්ලි හොයන්ඩ මහන්සි වෙනව ඇරෙන්ඩ ඕව කර කර ඉන්ඩ වෙලාවක් නෑ.’

‘මචං උදේ නැගිටල මූණ කට හෝදගෙන කන්ඩ බොන්ඩ අපිට වෙලාවක් තියනවනේ. කුණු ටික අයින් කර ගන්ඩත් අපි වෙලාවක් යොදා ගන්න ඕනැ. ඇයි අපි අපේ කුණු ගෙනැල්ල ටවුන් එක තවත් අපවිත්‍ර කරන්නෙ?’

‘ඉතිං කුණු ට්‍රැක්ටරේ ඇවිත් ඒව අරං යනවනෙ. ප්‍රශ්නෙ ඉවරයිනේ.’

‘ඒ දාන්නෙත් කොහෙ හරි අහිංසකයො ඉන්න පැත්තකටනෙ. ඒ කුණු කන්දෙ මැස්සො කැරපොත්තො මදුරුවො මීයො බෝවෙලා ඒ අවට ගෙවල්වල ළමයින්ට ලෙඩ හැදෙනව. ඒ ගෙවල්වලට ගඳ ගහනව. ඉතින් ඒක හරි ද?’

‘අපේ පැත්තෙ කවුරුත් කරන දේ තමයි මාත් කරන්නෙ. උදේ මහත්තය වැඩට යන්ඩ මෝටර් බයිසිකලේට නගිනකොට නෝන කුණු උරේ බයිසිකලේ එල්ලනව. මහත්තය යන ගමන් ඒක කුණු ගොඩකින් දාගෙන යනව. ඒකෙ ඇති වැරැද්ද මොකක් ද? ට්‍රැක්ටරේ ඇවිත් කුණු ටික අරන් යනවනෙ. එහෙම නැතුව අපි අපේ ගෙවල් පිටිපස්සෙ කුණු දාන්ඩ ගත්තොත් රට පුරා ම කුණු කඳු ගොඩ ගැහෙයි. ඊට නරකද මේ වැඩේ? ඒකෙං වැඩක් නෑ. උඹේ තොරතුරු කියපං!’

මම මහත් කනගාටුවෙන් ඔහු දෙස බලා සිටියෙමි.

‘ඇයි උඹ එපා වෙලා වාගෙ මං දිහා බලාගෙන ඉන්නෙ? රට වෙනස් වෙනකොට අපි ඒ විදිහට හැඩ ගැහෙන්ඩ ඕනෑ’

‘මට මතක් වුණා බං අපි පන්තියෙ විවාද කණ්ඩායමේ හරි හරියට හැප්පිච්ච හැටි! දවසක් මතකද අපි පරිසරය ලස්සන කර ගත යුත්තේ ඇයි කියන මාතෘකාව යටතේ තර්ක කරපු හැටි! කෝ අද අපේ එදා තිබිච්ච පවිත්‍ර හැඟීම්?’

‘ඒක නං එහෙම තමයි. දැන් රට වෙනස්නේ. මිනිස්සු ඉන්නෙ එදා තිබිච්ච රටේ නෙමෙයිනෙ. ඉතිං අපිත් ඒ විදිහට හැඩ ගැහෙන්න ඕනැ.’

‘ඒ කියන්නෙ කුණු කඳුවල ලස්සන බල බල ඉන්න ඕනැ. ඒක ද?’

‘උඹ ඔය ගුරුකමෙන් අයින්වෙල පී.එච්.අයි. කමක් ගනිංකො. ඒක තමයි උඹට හරියන්නෙ.’

ඔහු මගෙන් වෙන් වී ගියෙ අමනාපයෙනි.

‘පරිසරය පවිත්‍රව තබා ගත හැක්කේ හිතේ පවිත්‍රකම ද රැක ගත හැකි නම් පමණි’ යි මට සිතිණ.


Wmqgd .ekSu oekqu weiqfrks

More News »