ගමක සතුට

2016-10-03 11:36:00       723
feature-top
අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හිටපු ග්‍රාම සංවර්ධන නිලධාරි මහතා විශ්‍රාම ගියේ ය.

ඒ වෙනුවට වැඩ බැලුවේ වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට අනුබද්ධව සිටි ග්‍රාම සංවර්ධන නිලධාරි මහත්මයෙකි. ඔහු සතියකට දෙදිනක් අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවේය.

මා අපේ ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම්වරයා ය. අප සමිතිය කොන්ත්‍රාත් වැඩ කර උපයා ගත් මුදලක් නිදහස් කර ගනු පිණිස මම වැඩ බලන ග්‍රාම සංවර්ධන නිලධාරි මහතා හමුවීමට ගියෙමි. අදාළ ලිපිය සකස් කර දුන් ඒ මහතා මා සමඟ කතා බහ කළේ ය.

‘කොහොමද ඔයගොල්ලන්ගෙ සමිතියෙ තත්වෙ?’ ඔහු විමසුවේ සුහද සිතිනි.

මම අප සමිතියේ තත්ත්වය ගැන විස්තර කොට සමිතියේ මුදල් තත්වය පෙන්වීමට අදාළ බැංකු පොත ඔහුට පෙන්වීමි. එහි රුපියල් දස ලක්ෂයකට වැඩි මුදලක් ත‍ිබේ.

‘මෙච්චර මුදලක් තියාගෙන, ඇයි ගමට වැඩක් නොකරන්නෙ?’ ඔහු විමසුවේ ය.

‘දහම් පාසලට ෂීට් ගන්න පනස් දාහක් ඉල්ලල තිබුණ. තිස් දාහක් දුන්න’ මම කීමි.

‘ගමට කරන්න ඕනැ වැඩ ගැන කතා කර ගන්න සාකච්ඡාවක් කැඳවන්න! මං මුදල් නිදහස් කර දෙන්නං’ ඔහු කීවේ ය.

මම ගමට ගොස් කාරක සභාව කැඳවා කරුණ කීමි. ඒ අනුව රැස්වීමකට දින නියම විණි.

රැස්වීමට ග්‍රාම සංවර්ධන නිලධාරි තෙමේ සහභාගි වූයේ ය. අපි ඔහු ගෞරවයෙන් පිළිගතිමු.

‘සාමාජිකයන්ට අවශ්‍ය දේවල් මොනවද?’ ඔහු විමසුවේ ය.

සාමාජික‍යෝ දෙදෙනෙක් තම නිවෙස්වල අඩුපාඩුවක් ව පතින වැසිකිළි දෙකක් සාදා දෙන ලෙස ඉල්ලූහ. භාණ්ඩාගාරික මහත්මිය කියා සිටියේ ලේකම් මහත්මයාගේ ගෙදරට යන පාර හදා දෙන බවට පොරොන්දු වූ ප්‍ර‍ාදේශීය දේශපාලන බලධාරීන් පොරොන්දු කඩකර ඇති බව ය. එය සමිතිය මඟින්වත් කර දිය යුතු බවට ඇය යෝජනා කළා ය.

‘ඒ පාරෙ තවත් ගෙවල් තියෙනව ද?’ නිලධාරියා ඇසුවේ ය.

‘ති‍ෙයනව’

‘එහෙනං ඒ යෝජනාව ස්ථිර කර ගන්න!’

යෝජනාව ස්ථිර වූ අතර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් වෙන් කැරිණ.

ඉකුත් කාලයතුළ අප සමිතිය මඟින් ගම් පෙදෙසට කරන ලද වැඩ බොහෝ ය. ඒ අතර මයුරපාද විදුහලේ කැඩුණු පුටු 75ක් පිළිසකර කරදීම, පියා නැති පවුල්වලට වියළි ආහාර බෙදා දීම, මධ්‍යම බෙහෙත් ශාලාවේ බෙහෙත් නිකුත් කිරීමට වුවමනා කවර දස දහසක් ලබා දීම, එල්.ඊ.ඩී. බල්බ් තැනීමට පුහුණුව ලබා දීම, දෙමළ පන්තියක් පැවැත්වීම පාරක් තැනීම ආදිය වේ.

මේ සියල්ල කළ හැකි වූයේ ග්‍රාම සංවර්ධන නිලධාරි මහතා අපට නිසි මග පෙන්වීමක් කළ නිසා ය. ඊළඟ වසරේ ගමට වැඩ කිරීම සඳහා රුපියල් දෙලක්ෂයකට අධික මුදලක් ද ඔහු අපට අනුමත කර දී ඇත.

ග්‍රාම සංවර්ධන නිලධාරි ඩබ්ලිව්.එච්.යූ.කේ. විජේකෝන් මහතාණනි, අත්තනගල්ලේ ග්‍රාම සංවර්ධන සමිතිය මඟින් අපට මේ සා විශාල වැඩ කොටසක් කිරීමට හැකියාව ලැබී ඇත්තේ ඔබගේ දූරදර්ශී මඟ පෙන්වීම හේතුවෙනුවෙනි. ඔබට යහපත සැලසේවා!

Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »