සම්පත

2016-09-28 11:48:00       723
feature-top
මම පැරිසියේ ගාර්දියු නෝර් දුම්රිය ස්ථානයේ ගමන් කරමින් සිටියෙමි.

දරුවෙක් මා පිටුපසින් දුවගෙන ආවේ ය. මම නැවතී ඔහු දෙස බැලුවෙමි. ඔහු ප්‍රංස ජාතික පොඩ්ඩෙකි.

‘බුදු හාමුදුරුවො කියන්නෙ ඔයා ද?’ දරුවා ඇසුවේ ය.

මට හිනාවක් ගියේ ය. දරුවා ද සිනාසුණේ ය.

‘නෑ පුතේ, මං හාමුදුරු නමක්. බුදු හාමුදුරුවෝ දැන් නැ. එයා හිටියෙ හුඟක් ඉස්සර’

දරුවා ම’බස හිතට ගත් බව පෙනිණ.

‘තේරුණා ද?’

‘ඔව්’

දරුවා ආපසු හැරී සිය වැඩිහිටියන් වෙත දිව ගියේ ය.

තවත් දිනෙක මා ප්‍රංසයේ නගරයක බසයක් බලාපොරොත්තුවෙන් සිටින විට මට තරමක් එහායින් කළු සුදු දරුවෝ කිහිප දෙනෙක් මුව අයාගෙන මදෙස බලා සිටියහ.

අනතුරුව ඔවුහු යමක් කතිකා කරන බව‍ පෙනිණ.

ටිකකින් කළු දැරියක් මා ඉදිරියට ඒමට එඩිතර වූවා ය.

‘මහත්මයා අපට ඔයාගෙන් කාරණාවක් දැන ගන්ඩ පුළුවන් ද?’ ඇය ආචාරශීලීව විමසා සිටියා ය.

‘පුළුවනි, අහන්න දුව’ මම කීමි.

‘ඔයාගෙ ඔය ඇඳුම මොකක් ද?’

මා හැඳ සිටින්නේ සිවුරක් බවත්, මා වැනි භික්ෂූන් අඳින්නේ සිවුර නමැති ඇඳුම බවත් මම ඇයට පහදා දුනිමි.

මට ස්තුති කළ ඇය පෙරලා සිය පිරිස වෙත ගොස් මා කී කාරණය දැන්වූවා ය. අනතුරුව ඔවුහු යමක් තේරුම් ගත්තාක් මෙන් හිස් සොලවමින් මදෙස බලා සිටින්නට වූහ.

මම ඔවුනට සිනාවක් පෑවෙමි. ඔවුහු ද සිනා පෑහ.

ප්‍රංසයට ඒමට පෙර මා සරසවියෙන් පිට වූ අලුත ගුරුපත්වීමක් ලැබ දුෂ්කර පෙදෙසක පිහිටි ප්‍රාථමික පාසලක ඉගැන්වීමට ගියෙමි.

පාසලේ දරුවනට බීමට ජලය ‍නොවී ය.

කොන්ත්‍රාත්කරුවකු විසින් ළිඳක් කපන ලද අතර ළිං අඩියේ ගලක් හමු වීය. ඔහු කළේ පිටතින් ගෙනෙන ලද ජලයෙන් ළිඳ පුරවා බාර දීම ය. ඒ ජලය දින කිහිපයක දී හිඳී ගියේ ය.

දහය පමණ වන විට හිරු එළියෙන් සිරුරු දැවෙන්නට පටන් ගනී. එතැන් සිට මේ පුංචි උන්ට ඉගෙනීමක් ගැන හිතිය නොහැකි ය.

මම ඒ පීඩාව දරාගෙන ම ඒ වනමල්වලට ඉගැන්වීමි. තරග තියා ඔවුනට තෑගි දුනිමි. අන්තිම දරුවාට ද තෑග්ගක් දුනිමි. ඔවුනට ඉංග්‍රීසියෙන් සියයට ගනින්නට ඉගැන්වීමි. කතන්දර කියා දුනිමි.

ඒ දරුවන්ගෙන් වැඩි දෙනකු පාසල් ආවේ විස්කෝතු කන්නට තිබූ ආසාවට බව පෙනී ගියේ ය.

මට කිහිප වරක් ම මැලේරියාව හැදිණි. මගේ සිරුර බෙහෙවින් දුබල විය. මාරුවක් ඉල්ලුව ද හරි නොගියේ ය. මම ගුරු සේවාවෙන් ඉල්ලා අස් වීමි.

අවසන් දවසේ ‘මා යනවා’ යි ඔවුනට කියන්නට මට ශක්තියක් නොවී ය. ‘අනේ සාදු යන්ඩ එපා’ යි කියමින් ඔවුන් හඬන බව මම දැන සිටියෙමි.

අවසානයේ මා කළේ දරුවනට දෙන්නැයි කියා මගේ ලිපිනය ගුරු සොයුරියකට දී නොකියා ම ඒම ය.

දරුවෝ හැමෝ ම මට ලියුම් එවූ හ. මම ඔවුන් සැමට වෙන් වෙන් වශයෙන් පිළිතුරු ලිවීමි.

ඔවුන් මට ලියූ ලිපි අම්මා ළඟ තබා ප්‍රංසයට ආවෙමි.

යුදගනාවේ, පලුවද්දන විදුහලේ පුංචි උන් ඒ ලිපිවල ලියා තිබූ දුක්බර වදන් තවමත් මා සිතෙහි දෝංකාර දෙයි.

‘අනේ සාදු ඇයි අපිව දාල ගියේ?’

silumina.lk


More News »