සතුටු පවුල

2016-09-19 11:36:00       562
feature-top
උදෑසන ම ගෙදරින් එළියට බැස ගත් අපි යතුරු පැදියේ නැග ලහිලහියේ පාසල බලා යමින් සිටියෙමු.

මා සැමියා යතුරු පැදිය පදවයි. මා පිටුපස ය. පුතු මා තුරුලේ ය.

සැමියාත් මාත් සේවාව කරන්නේ එක ම පාසලේ ය. පුතු සිටින්නේ එහි ම හෝඩියේ ය.

දැන් අපි යන්නේ වැව අයිනේ ය. දසුන මනරම් ය. වැව් දිය පිස එන සිහිල් මද නළ අප වටා වෙළෙයි.

‘කොහොමද අම්මෙ මේ වැවට මෙච්චර වතුර එන්නෙ?’

‘වැස්ස ම එකතු වෙනවනෙ පුතේ. පොළොවෙනුත් උණනවනේ. වැවට උඩින් තියන වතුරත් එකතු වෙනවනේ’

‘මේක හැදුවෙ කවුද අම්මෙ’

‘අපේ මුතුන්මිත්තො තමයි’

‘මුතුන්මිත්තො කිව්වෙ?’

‘අපේ සීයලගෙ සීයලගෙ සීයල’

‘කොච්චර කල් යන්ඩ ඇද්ද මේක හදන්ඩ!’

‘ගොඩක් කල් යන්ඩ ඇති’

‘ඇයි වැව් හදන්නෙ?’

‘කුඹුරු වපුරන්ඩ වතුර ගන්ඩනේ’

පුතුගේ ප්‍රශ්නාවලියේ ඉවරයක් දැකිය නොහැකි ය.

වැව් බැම්ම අයිනෙන් ගුරු පාරක් තිබේ. මහ පාරට යෑමට ඒ දිගේ යා යුතු ය. අපි එහි පිවිසුණෙමු. පෙනෙන තෙක් මානයේ කැලෑ රොද ම මිස ගෙයක් දොරක් නැත.

හිටි අඩියේ ම කැලෑ රොදින් හීන් අ‍ඳෝනාවක් නැඟිණ. හඬ ළං ළං විය.

සැමියා යතුරු පැදිය නතර කළේ ය. බලු සිඟිත්තෝ පස් දෙනෙක් පාර අයිනේ හඬමින් සිටිය හ.

මව් තුරුලේ උණුසුම විඳිය යුතු මේ සිඟිත්තෝ උනුන්ට තුරුලු වෙමින් හඬා වැටෙති.

සිදු වී ඇති දේ වැඩිහිටි අපට පැහැදිලි ය. එහෙත් එය නොතේරෙන පුතු ගේ මුහුණ බැරෑරුම් ය.

‘මේ ගොල්ල මෙහෙ මොකද? කෝ මෙයාලගෙ අම්ම?’

මේ සිඟිත්තන් කබරයන්ට ‍ගොදුරක් වේවි ද? උන් ගෙදර ගෙන යමුයි පුතු යෝජනා කරාවි ද? දැනටමත් බලු සුරතලුන් දෙදෙනකු හදන අපට තවත් අමතර බරක් දැකිය හැකි ද? මෙබඳු ප්‍රශ්න තොගයක් ම සිතෙහි පැන නැංගේ ය. එය තේරුම් ගත්තා ‍සේ සැමියා නිහඬව ම යතුරු පැදියට පණ දුන්නේ ය.

අප පාසල ඇරී එන විට බලු සිඟිත්තන් ගේ හැඬුම වැඩි වී තිබිණි. සැමියා ඔවුන් දුටු හැටියේ ම ගමන වේගවත් කළේ ය. පුතු ප්‍රශ්න ඇසුවේ ය. මම කෙටියෙන් පිළිතුරු දුනිමි.

පසු දා අපටත් කලින් පුතු අවදි වු‍ෙණ් ය.

‘අම්මෙ, අද මට කෑම පෙට්ටිය එපා! අම්ම වගේ කෙසෙල් කොළේකට බත් ගෙනියන්ඩ ඕනැ.’

මම ඔහු ගේ ඉල්ලීම ඉටු කළෙමි. කටු නැති මාළු කෑල්ලක් බේරා බත් පතට බෙදන විට ම ඔහු තවත් අහිසංක ඉල්ලීමක් කළේ ය.

‘අනේ අම්මෙ අද බත් ගොඩාක් දාන්ඩ. මාළු කෑලිත් තුනක් දාන්ඩ! වෙන මොකුත් දාන්ඩ එපා හො‍ඳේ’

යහළුවන් සමඟ බෙදා හදාගෙන කෑම හොඳ පුරුද්දක් නිසා ඊට ඔහු දිරි ගන්වනු රිසින් මම ඔහු කී පරිදි ම කළෙමි.

අපේ යතුරු පැදිය වැව් තාවුල්ලට ළං වෙනවාත් සමඟ ‘අනේ අදත් අර බලු පැටව් අඬනව ඇති නේදැ’ යි මට සිතිණ.

පුතු නිහඬව සිටීම මට අස්වැසිල්ලක් විය.

ටිකකින් බලු පැටවුන් ගේ අ‍ඳෝනාව ඇසෙන්නට විය. එය අද නම් බෙහෙවින් ශෝකාකූලය.

‘තාත්තෙ ඔන්න ඔතන ටිකක් නවත්තන්ඩකො’ පුතු ඉල්ලුවේ ය.

‘එතකොට පුතේ ඉස්කෝලෙ යන්ඩ පරක්කු වෙනවනෙ’ සැමියා කීවේ ය.

‘කමක් නෑ තාත්තෙ නවත්තන්ඩකො’

යතුරු පැදිය පැටවුන් කිට්ටුව නැවතිණ.

‘අම්මෙ දෙන්ඩකො මගෙ බත් එක’ කියමින් පුතු බිමට බැස්සේ ය.

‘ඒක ඔයාගෙ බෑග් එකේනෙ’

කලබලයෙන් යුතුව බත් මුල අතට ගත් පුතු බලු පැටවුන් ළඟට දුව ගොස් එය බිම තබා අනතුරුව දිග හළේ ය. ඉන්පසු ඔහු අප පුදුමයට පත් කරමින් මාළුත් බතුත් ඇනුවේ ය.

අහර සුවඳට පැටවුන් ඇදුණේ උනුනු පරදවමිනි.

කිරි බොන වයසේ පසු වන ඔවුන් බත් උගුරේ හිර කර ගනිමින්, කහිමින් කන හැටි දුටු මගේ දෑස පෙඟුවේ ය.

පුතු උන් දෙස බලා හිටියේ හපන්කමක් කළ ආකාරයෙනි.

මා සැමියා කොහෙන්දෝ සොයා ගත් පොල් කටුවකට දිය ගෙනැවිත් තැබුවේ ය. දිය බීම නුපුරුදු මේ සිඟිත්තන්ට දිය බිඳක් පෙවීමට මම මහත් ආයාසයක් දැරුවෙමි.

එදින පුතු පාසලට ගියේ මහත් සතුටකිනි.

‘අද මං අර බලු පැටවුන්ට බතුයි මාළුයි අනල කන්ඩ දුන්න’ ඔහු යාළුවන්ට කීවේ ආඩම්බරයෙනි.

එදින ද ගෙදර ආ හැටියේ ඔහු බලු සිඟිත්තන්ට පසුදා කවන ආහාර ගැන කතා කරමින් ඒවා සෙවීමට උනන්දු වූයේ ය. පසු දින උදයේ ද කලින් දින පරිදි ම පුතු පැටවුනට අහර බුදින්නට දුන්නේ ය.

මෙසේ දි පහක් ම ඔහු ඔවුන් වෙනුවෙන් ගත කළේ ය.

සති අන්ත නිවාඩුව එළඹි‍ෙය් ය.

නිවාඩු දින දෙකෙදී ඔවුනට අහර සැපයීම ගැන පියාත්, පුතුත් කතිකා කර ගත් හ.

එහෙත් හදිසි අවමඟුලකට සහභාගි වීමට කරුණු යෙදුණෙන් සති අන්තයේ අපට පැටවුන් ගැන සොයා බැලීමට ඉඩක් නොලැබිණ.

ඊළඟ සඳුදා ද පුරුදු පරිදි අප අහර රැගෙන යන විට එහි සිටියේ පැටවුන් දෙදෙනකු පමණි. ඔවුන් ද කුස ගින්නෙන් හෙම්බත් වී කැලෑ රොදක වැටී සිටිය හ.

කුණු ගඳක් ද වහනය වෙමින් තිබිණ. සුපරික්ෂාකාරි වූ අපට දැක ගත හැකි වූයේ කබරයකු විසින් කා දමන ලද සෙසු පැටවුන් ගේ සිරුරු සුන්බුන් ය.

පුතු පාසල් ගියේ හැඬූ කඳුළිනි. ඔහු පන්තියේ දී වැඩක් කළේ ද නැත. පාසල ඇරී එන විට පුතු ගේ ඇඟ රත් වී තිබිණි.

සැමියා යතුරු පැදිය පැදවූයේ නිහඬවය. ඔහු අමුතු යමක් ගෙනයමින් සිටියේ ය. ඒ හිස් මාරි විස්කෝතු පෙට්ටියකි. පුතු ද නිහඬව සිටියේ ය. මම ද නිහඬතාව නොබින්දෙමි.

යතුරු පැදියේ හඬට කන් ඔසොවා ප්‍රතිචාර දැක් වූ බලු සිඟිත්තෝ එය නවත්වන විට පාර අයිනට ආහ. බිමට බට මම ශෝකයෙන් පීඩිතව සිටි පුතු වඩා ගතිමි.

සැමියා පැටවුන් දෙදෙනා අල්ලා පෙට්ටිය තුළ රඳවා එය පුතුට ළං කළේ ය.

‘මෙන්න ඔයාගෙ යාළුවො. හොඳට බලා ගන්ඩ!’

පුතු ගේ අඬවන් දෑසෙහි සතුට පිරී යනු මම දිටිමි.

පුතු ගේ ‘සිඟිති’ බලු යාළුවා ද ‘බට්ටි’ යෙහෙළිය ද දැන් ‍ෙහාඳින් වැඩෙමින් සිටිති. හැමදාම හවසට පුතු ඒ දෙදෙනා සමඟ බෝල ගසයි. පෙර බලු මිතුරන් වන ‘රෙක්ස්’ සහ ‘ටොමී’ ද වරින් වර සෙල්ලමට එති.

බලු සාමාජිකයන් සිව් දෙනා ද අප තිදෙනා ද ඇතුළත් අපේ පවුල බරපතළ ය. එහෙත් දැන් අප සතුටිනි.

ඉපලෝගම, කුංචිකුලමේ, එස්.කේ.එස්. මාලතී මැණිකේ මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නැළවිලි ගීය

මෑතක දී මම ඕමානයේ කෙටි සංචාරයක යෙදුණෙමි.

දහවල දැඩි උෂ්ණත්වයක් පවතින කාන්තාර රටක් වූ එහි නිස්කාන්සුවේ ඇවිද යා හැක්කේ රාත්‍රියේ ය.

‘අද රෑ අපි ටිකක් ඇවිදිමු ද?’ දිනක් මම මිතුරාට යෝජනා කළෙමි. ඕමානයේ රැකියාව කරන ඔහු ශ්‍රී ලාංකිකයෙකි. මගේ අනුග්‍රාහකයා වූයේ ද ඔහු ය. ඔහු මගේ යෝජනාව සතුටින් අනුමත කළේ ය.

රාත්‍රිය එළඹියේ ය.

අපි සංචාරය ඇරඹීමු. ම’මිතුරා මේ ගමනට ඔහු ගේ ඕමාන් මිතුරකු ද කැඳවා ගෙන තිබිණි.

ඕමානයේ රාත්‍රිය නිහඬ ය. එය දැඩි නිහඬතාවකි.

අධිවේගී මාර්ගවලත්, සාමාන්‍ය පාරවල්වලත් වාහන ඇදී යනු පෙනිණි. එහෙත් හෝන් හඬ නම් නෑසිණි.

අපි අතුරු පාරවල් දිගේ ඇවිද ගියෙමු. අපේ මිරිවැඩි පාරේ ගැටෙන හඬ අපට ම ඇසෙන තරමට ම පරිසරය නිහඬතාවේ ගිලී තිබිණ. ටිකකින් අප පිවිසියේ නිවාස පිහිටි පෙදෙසකට ය. සැබැවින් ම ඒවා නිවාස නොව මන්දිර ය.

හිටි හැටියේ මට ගැයුමක් ඇසිණ. එය සිංහල හඬකි. සිංහල ගැයුමකි. එය දරු නැළවිලි ගීයක් බව මට වැටහුණේ ඉන්පසු ය.

‘!... දොයි දොයි දොයි දොයිය බබා

බයි බයි බයි බයිය බයිය බබා....’

‘හරි පුදුමයිනේ. ඒ කොහොමද එහෙම වෙන්නෙ?’ මට කියැවිණ.

‘අන්න අර ගෙදරින් තමයි ඇහෙන්නෙ. උඩ බලන්ඩ!’ මිතුරා කීවේ ය.

මම හිස හැරවීමි. මැඳුරක තෙවැනි තට්ටුව විදුලියෙන් එළිය වී තිබේ. සැබවින් ම නැළවිලි ගීය ඇසෙන්නට වූයේ එහි කුටියකිනි.

‘ඔය ගෙදර අපේ රටෙන් ආපු ගෑනු කෙනෙක් දරුවෙක්ව නිදි කොරෝනව ඇති. එයා ඉතින් මෙහෙ නැළවිලි ගීත දන්නෙ නැහැ. ඒ හින්ද එයා දන්න සිංහල නැළවිලි ගීය කිය කියා ඕමාන් දරුවව නිදි කොරෝනව ඇති...’ මිතුරා කීවේ ය. ඕමාන් සගයා ද එය අනුමත කළේ ය.

දරු නැළවිලි ගීයකට ලෝකයක් නැළවිය හැකි බවත් ඕනෑ ම රටක දරුවකු නැළවිලි ගීයේ රිද්මයට අවනත වන බවත් මට අවබෝධ වූයේ මෙවිට ය.

ගම්පහ නන්ද ප්‍රියන්ත මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Wmqgd .ekSu u��u mqj;am; weiqfrks

More News »