ආගන්තුකයා

2016-09-15 11:38:00       723
feature-top
වීදිය දෙපස ඇත්තේ තාප්පවලින් වට වූ ගෙවල් දෙපේළියකි. නිරන්තරයෙන් වසා ඇති මේ ගෙවල්වල ගේට්ටු ඇරෙන්නේ එක්කෝ ගෙදර වාහනය පිටවෙද්දීය; නැත් නම් ඇතුළු වෙද්දීය.

බොහෝ විට මේ වීදිය දවාලට පාළුය.

දවසක් ආගන්තුකයෙක් මේ වීදියට ආවේය. ඔහු උසය; කළුය; මහතය; මුහුණ විකෘතිය.

ආගන්තුකයා ගේට්ටුවකට තට්ටු කළේය.

“නෝනා...”

ලන්සි නෝනා ගේට්ටුව ඇරියාය.

“ඇයි?”

“වැඩක් හොයාගෙන ආවේ..”

“මොනවද කරන්න පුළුවන් වැඩ?”

“ඕනෑ වැඩක් කරනවා.”

ලන්සි නෝනාගේ ගෙවත්තේ වැඩපළ ඔහුට බාර කැරුණේ ඉන් පසුවය. ඒ නිම වූ පසු ඔහු යාබද ගෙවතුවලද වැඩ කළේය.‍

ඔහු උදලු ගෑවේය; බර ඉස්සුවේය; බල්ලන්ට කෑම දුන්නේය; කඩේ ගියේය; ගෙවල් බලාගත්තේය.

ආගන්තුකයා වීදියේ පුරුදුකාරයකු වී අන්තිමේ නැතුවම බැරි ආරක්ෂකයකු බවටද පත් වූයේය.

මේ සබැඳියාව පැවතුණේ අසල නිවෙසකට හොරුන් පනින තුරු පමණි. එහි වූ මුදලුත් රන්බඩුත් අතුරුදන්ව තිබිණි.

ඒ සමගම වැඩකාරයා කෙරෙහි පැතිර ගියේ භීතියකි.

වීදියේ ගේට්ටු වැසී ගියෙන් වැඩකාරයා තනි වූයේය. එහෙත් ඔහුට යාබද වීදියේ ගෙවල්වල ගේට්ටු නම් ඇරිණි‍.

ඔහු ඒ වීදියේ ගෙවතුවලද උදලු ගෑවේය; බර ඉස්සුවේය; බල්ලන්ට කෑම දුන්නේය; කඩේ ගියේය; ගෙවල් බලාගත්තේය.

මින් පසු පළමු වීදියේ නිවැසියන්ට වැඩකාරයා ගැන අමතකව ගියේය.

දිනක් හිටිහැටියේ ලන්සි නෝනාගේ ගෙරින් මහා විලාපයක් ඇසෙන්නට ගත්තේය. පුදුමයට පත් යාබද නිවැසි ස්ත්‍රීහු ඇයගේ වැසූ ගේට්ටුව ළඟට රැස් වූහ.

ටිකකින් ලන්සි නෝනා බිම දිගේ ඇදිඇදී විත් ගේට්ටුව ඇරියාය.

“මොකද වුණේ?”

“බාත්රූම් එකේ වැටුණා...”

ඇගේ පයක් බිඳී තිබිණි.

“දැන් මොකක්ද අපි කරන්නේ? ගෙවල්වල පිරිමි කවුරුවත් නෑ නෙ...”

ලන්සි නෝනා ආ ලෙසම බිම දිගේ ඇදෙමින් ආපසු ඉස්තෝප්පුවට ගියාය.

“අනේ අර මනුස්සයවත් හිටිය නං! කොහෙද ඉතින්... අපිම නේ ඒ මනුස්සයව පන්නගත්තේ...” ස්ත්‍රීහු දුක් වූහ.

ලන්සි නෝනාට වූ විපත පිළිබඳ ආරංචිය වීදියටද, අල්ලපු වීදියටද ගියේය.

වැඩි වෙලාවක් ගත වන්නට පෙර අර වැඩකාරයා ලන්සි නෝනා ඉදිරියේ පෙනී සිටියේය.

“අනේ අපේ නෝන මොනවද මේ කරගත්තේ!” ඔහු ඇය වත්තන් කර පුටුවක ඉන්දෙව්වේය.

අනතුරුව ඔහු කැඩුම්-බිඳුම් වෙද මහත්තයා සොයාගෙන පිම්මේ දිව්වේය.

ප්‍රතිකාර කරමින් සිටි තරුණ වෙද මහත්තයා වැඩකාරයාගේ අඳෝනාව ගණනකට නොගත්තේය.

“අනේ යං වෙද මහත්තය! අනේ යං!”

“මං ගෙවල් ගානෙ යන්නෙ නෑ. ලෙඩාව මෙහාට ගේනව!”

ඊළඟට වැඩකාරයා ඒ පිම්මේම ආපසු දිව ආවේය.

“වැඩේ හරියන්නෙ නෑ නෝනා. ලෑස්ති වෙමු. මං නෝනව ඉස්පිරිතාලෙ ගෙනියන්නං.”

ස්ත්‍රීහු ඇයට අලුත් ඇඳුමක් ඇන්දූහ.

“මං නෝනව උස්සගෙන ගියාට කමක් නැද්ද?”

වැඩකාරයා ස්ත්‍රීන් දෙස බැලුවේ කැමැත්ත අකැමැත්ත විමසන නියායෙනි. කවුරුත් මුනිවතින් එය අනුමත කරන බව ඔහුට වැටහිණි.

ශක්තිවන්ත වැඩකාරයා වියපත් කත පුලුන් රොදක් සේ ඔසවාගත්තේය.

නෝනා රෝහල්ගත කළ වැඩකාරයා ඇගේ අත්උදව්වට රෝහලේ නවතින්නට හැදුවත් ගැහැනු වාට්ටුවක් නිසා ඔහුට ආපසු යෑමට සිදු විය. එහෙත් ඔහු ඇය සුවපත් වන තුරුම ඇය බලන්නට ගියේය.

ඒ එන හැම වාරයක් පාසාම ලන්සි නෝනා  ඔහු දෙස බලා සිටියේ කෘතවේදීවය.

සංවේදී වූ ඔහු මෙතෙක් කල් කාටත් රහසක්ව තිබූ ඔහුගේ සැඟවුණු කතාව හෙළි කළේය.

“නෝනා, මං වැඩ කෙරුවේ හමුදාවෙ. මගෙ මේ අත් දෙකෙන් ලෙඩ්ඩු තුවාලකාරයො විතරක් නෙමේ, මළමිනීත් උස්සල තියෙනවා.”

“ඔය ඇහැට මොකද වුණේ?”

“බෝම්බෙකට අහු වුණා නෝනා, මේ තියෙන්නෙ කැළල. මෙතන තමයි ඔපරේෂන් කළේ. දොස්තර මහත්තයට පින් සිද්ධ වෙන්ඩ තැන එහා-මෙහා වුණාට ඇහැ බද්ධ කළා.

“කොහෙද ගම් පළාත්?”

“අහන්න එපා නෝනා! මං මළයි කියල හිතාගෙන හිටියද දන්නෙ නෑ. මං සනීප වෙලා ගෙදර එනකොට ගෙදර උන්දැ වෙන දීගෙක ගිහිං! ඒත් මං දරුවො ගැන හිතල ගෑනිටයි දරුවන්ටයි තියෙන දේවල් දන් දීල කොළඹ ආව. මේ ජීවිතේ නිදහස් නෝනා!”

ස්වකීය ඉරණම ගැන ඔහු කිසිවකුට දොස් නොපැවරීය.

සැබෑ මිනිසා ජීවත් වන්නේ මුළු හදවතින්ම බව ඔහු කාටත් කියා දුන්නේය.

silumina.lk


More News »