දයාබර හදවත

2016-09-13 11:13:00       723
feature-top
සුපුරුදු පරිදි මම උදෑසන නැගිට්ටෙමි.

වසන්තා තේ කෝප්පයක් ගෙනැවිත් දුන්නා ය. එය බිව් මම ඉස්තෝප්පුවට ආවෙමි.

හාන්සි පුටුව මා එනතුරු බලා සිටියේය. මම එහි හාන්සි වී පොතක් දිග හැර ගතිමි.

වසන්තා තේ කෝප්පය ගෙනාවේ නැත්නම් දිගටම පොත් කියවන මා තේ එකක් බොන්නට නැගිටින්නේ දහයට පමණ ය.

අපේ ගෙදරට ටික කාලයක සිට අහල පහළ කවුරුත් එන්නේ නැති ගාණය. ඒ මා කළ වරදක් නිසාවත් මා සමඟ ඇති අමනාපයක් නිසාවත් නොවේ.

ඒමට හේතුවක් නැති නිසා ය.

දැන් මා වියපත් ය.

යතුරු පැදියක් මිදුලට පැමිණ නැවැත්වීය. ‘මොකද මේ’ යි අසන්නාක් මෙන් මම ඒ දෙස විමසිලිමත් වීමි. තරුණ ගැහැනු ළමයකුත් මැදි වියේ කතකුත් ඉන් බැස මදෙස බැලූහ.

‘ඇයි ළමයිනේ?’ මම ඇසීමි.

‘මහත්තයො ඊයෙ රෑ අපේ ගෙදරින් ගෙනා බලු පැටියව බලන්නයි ආවෙ’ කත කීවා ය.

තරුණ ගැහැනු ළමයා මා ඉදිරියට ආවා ය.

‘තාත්ත මං නැති වෙලාවෙ ඌව දීල! තාත්ත ඌට ගහනවත් එක්ක!’

මට කාරණය වැටහිණ.

‘ආං අර කොටුවෙ දාල ඉන්නව. ගිහිං බලන්ඩ’ මම කීමි.

ඔවුහු එහි ගියහ.

මම ද හෙමිහිට ගියෙමි.

ගැහැනු ළමයා බැල්ල දැක සතුටු වූවා ය. බැල්ල ද ඇය හඳුනා ගත්තා ය.

ඇය බැල්ල ඇමතුවේ ආදරයෙනි.

‘... ඔයා උදෙන්ම නාල නේද? මට ඔයා නැතුව පාළුයි. මං නාන්ඩ යද්දි ඔයා මං පස්සෙං ඇවිත් මාව බලාගන්න හැටි මට මතකයි. දැන් ඔයා නැති එක ගැන දුකයි. ඔයාට මෙහෙ සැපයි නේද? කමක් නෑ ඔයා ඉන්ඩ! ඔයාට මෙහෙ සැප හින්ද මං දුක අඩු කර ගන්නං. ආයිත් ඔයාව බලන්ඩ එන්නං. හොඳින් ඉන්ඩ’ ඇය බැල්ලගේ හිස පරිමැද්දාය. බැල්ල ද ඒ සෙනෙහස සතුටින් ඉවසුවාය.

‘එහෙනං අපි ගිහින් එන්නං’ මවත් දුවත් මගෙන් සමු ගත්හ.

‘හොඳයි’ මම කීමි.

ඔවුහු පැදියේ නැඟී ගියහ.

මම යළි හාන්සි පුටුවට බර දුනිමි.

ඒ අමුතු අද්දැකීමෙන් මගේ හිත මුදු මොළොක් වී තිබිණි.

කඳුළු බිඳු ‘සට සට’ ගා වැටුණේ මා නොදැනුවත්වම ය.

‘ඇයි සර් අඬන්නෙ?’

මම හිස හරවා බැලීමි.

වසන්තා මා දෙස පුදුම වී බලා සිටියාය.

‘අඬන්නෙ නෑ දරුවො. මට දුක හිතුණ.’

ඇය මට හුදෙකලා වීමට ඉඩ දී ගියාය.

මම ඉකුත් හතළිස් වසර මුළුල්ලේ මේ පෙදෙසෙහි විසුවෙමි. දරුවන් ගෙදරට ගෙන්වා නොමිලේ ශිෂ්‍යත්වයට ඉගැන්වීමි. ගමේ දියුණුවට සමිති සමාගම් හදා වැඩ කළෙමි. වැඩිහිටියන් දැනුවත් කර වැඩිහිටි සමිති හැදීමි. ජනතාව සමඟ ම විසීමි.

මගේ හැත්තෑ හතර වැනි උපන් දිනය වෙනුවෙන් සියයක් දෙනා කැඳවා හොඳින් සංග්‍රහ කළෙමි.

ඒ සිහිපත් වන විට සතුටක් දැනෙයි.

එහෙත් අර අද්දැකීම යළි යළිත් මා පෙළයි. අර ළමයා බැල්ල ඇමතූ ලතාව මා සසල කර තිබේ.

ඇය බෙහෙවින් සෙනෙහස දක්වද්දීත් බැල්ල බලු කොටුවට වැටුණේ ඒ ගෙදර වගකිව යුතු අය සංවේදී නොවූ නිසාය. උදේ දවල් බණ අසන අය සංවේදී නැත්තේ ඇයි? රට තනිකරම දේශපාලනයෙන් කුරුවල් වී ඇති නිසා ද? පූජ්‍ය පූජක දෙපක්ෂයට මීට වඩා වැඩ කොටසක් නැද්ද?

මම සිතමි. දිගටම සිතමි.

More News »