රෝස පියතුමා

2016-09-06 11:20:00       729
feature-top
මැද කඳුකරයේ හෙල්මළු ගමට පහළින් පන්සල ද, ඉහළින් පල්ලිය ද විය.

සුදු පාලන කාලයේ සිට පැවත ආ පල්ලිය සමඟ ගම්මුන් වැඩි දෙනාගේ සම්බන්ධයක් නොවීය. තිබුණේ පසු කාලයේ හැදුණු පන්සල සමඟ ය.

කලෙක පටන් පල්ලියට විදුලිය තිබුණ ද ගමට එය සිහිනයක් විය. පසු කාලයේ දී පන්සලට ද විදුලිය ලැබිණ.

කල්ගත වනවිට ගමට විදුලි අවශ්‍යතාව තදින් දැනිණ. ගම්මු පන්සලට යන විදුලි කණුවෙන් ලයිට් ගන්නට ගියහ. මොන හේතුවක් නිසාදෝ හාමුදුරුවෝ ඊට එරෙහි වූහ.

ගමත් පන්සලත් අතර ගැටුමක් හටගත්තේ ය.

පියතුමා ගමට ඉහළින් සිට සිද්ධිය දෙස බලාගෙන සිටියේය.

‘මෙහෙ එන්ඩ! මේ කණුවෙන් ලයිට් ගන්ඩ! පියතුමා ගම්මුන්ට කීවේය.

පියතුමාත්, ගමත් අතර යාළුකම හටගත්තේ එලෙස ය.

ගමට ඈතින් නිලට දිස් ව‍ූයේ මැද රට කඳු වළල්ල ය. හැන්දෑ යාමයෙන් පසු මැද රට කඳු වළල්ල දිගේ මේ ගම්මානය පිහිටි හල්දුම්මුල්ල පෙදෙසට තද සීතල සුළඟක් සහිත සිරිපොදක් දිව යන්නේ ය. මීදුම සහිත ඒ සිහිල් කාලගුණය රෝස මලට සනීපදායක ය.

‍රෝස ලෝලියකු වූ පියතුමා මේ රහස දැන සිටියේ ය. ඒ වනවිටත් ඔහු සතුව විරල ‍රෝස එකතුවක් ද විය.

එක්තරා සංවිධානයක් මඟින් මල් වගාවට අනුග්‍රහය සැලසුණු විට පියතුමා අක්කර අටක රෝස වවන්නට ගම් පළාතේ තරුණ පිරිසකගේ සහාය ලබා ගත්තේ ය. ඒ තබා ලෝකයේ හොඳම රෝස මල් පිපෙන ඕලන්දයෙන් විරල රෝස දඬු ගෙනැවිත් වල් රෝස මුල්වලට බද්ධ කර අතිසුන්දර නව රෝස යායක් ඉපැද්දුවේ ය.

මැද කඳුකරයේ ගව හිමියෝ ද මේ ‍රෝස වගාවට ඇවැසි ගොම පොහොර සපයමින් අත මිට සරු කර ගත්හ.

හල්දුම්මුල්ලේ රෝස වගාවෙන් කොළඹ රෝස මල් වෙළෙඳ පොළ සරු වූයේ එලෙසිනි.

මා මේ තොරතුරු දැන ගත්තේ පියතුමන්ගේ රෝස වගාවට සම්බන්ධව සිටි මගේ මිතුරකු ගෙනි. මම ඔහු මුණ ගැසීමට මේ රෝස වගාවට ද ගොස් ඇත්තෙමි. වගා වැඩට උදවු කර සතුටක් ද ලද්දෙමි.

මිහිදුම් සේලය මැද හිරු එළියේ බැබළෙන මේ සොඳුරු රෝස යායට කලක් මම ද පෙම් කළෙමි. එදෙස බලා සිටියදී නොදැනීම මසිත සමාධිගත වූ අයුරු මට සිහිපත් වේ. හිත නිවෙන බටහිර සම්භාව්‍ය සංගීතයක් ද රෝස වගාවෙන් හෙමිහිට නැඟෙමින් තිබිණි. සංගීතය නැඟුණේ යායට සවිකරන ලද කුඩා බෆල් රැසකිනි. රෝස යායට මියැසිය මුසු කිරීමෙන් එහි මල් අස්වැන්නක්, මල්වල සුන්දරත්වයත් වැඩි කරගත හැකි බව පියතුමන් පමණක් දැන සිටි තවත් රහසක් විය.

දණ්ඩත් සමඟ කපන ලද ‍රෝස මල් රටාවකට පැස්හි අහුරා කොළඹ යවනු පිණිස හපුතලේ දුම්රිය පොළට භාර කැරිණි. ලද ආදායම සේවක ප්‍රජාව අතර බෙදිණි. රෝස මල් මිස ‍රෝස පැළ විකිණීම කෙරෙහි පියතුමන් උනන්දු නොවූයේ රෝස පැළ ඊට ආවේණික පරිසරයෙන් වෙන් කළ විට හොඳින් නොවැ‍ෙඩන බව දත් නිසා ය.

පියතුමන් ගේ සෞන්දර්ය ව්‍යාපාරයට ඔහුගේ බලධාරිත්වයෙන් ම රතු එළියක් නිකුත් වීම කාගේත් හිත් සසල කරවන්නක් විය. ඊට හිස නැවූ පියතුමා තරුණ පිරිසටම වගාව බාර කොට අබිනික්මන් කළේය. ඉනික්බිති ඔහු හාල් අමුතැන්න පෙදෙසෙහි අක්කර තුනක රෝස වගාවක් කරගෙන ගොස් එය ද එහි සේවක පිරිසට බාර කොට‍ බැහැර ගිය බව පසු කලෙක දී මට ආරංචි විය.

අද මෙරට වෙළෙඳ පොළට මූලික වශයෙන් රෝස මල් සැපයෙන්නේ එදා පියතුමන් අතින් ඇරඹී සෙස්සන් අතර බෙදී ගිය ‍රෝස වගාවෙන් බව පියතුමන්ට ගෞරව පිණිස ලියා තබමි.

ඒ කෙසේ වුව ද පියතුමන් අද සිය දිවියේ සැඳෑ සමය ගත කරමින් කඳු කරයේ විවේකී ස්ථානයක පසුවන බව සැලයි. තමන් ඇරඹූ රෝස වගාවෙන් අද ඍජුව හා වක්‍රව පවුල් දෙසියයක් පමණ යැපෙන බව වසර අනූ ගණනක් වන පියතුමා නොදන්නවා විය හැකිය. මිහි බට දෙව් කෙනකු බඳු ස්කානිවල් පියතුමනි, ඔබතුමන්ගේ සේවාව සදා සමරමි.

More News »