පිය පුතු

2016-09-05 12:27:00       543
feature-top
දහම් පාසල ඇරෙන වෙලාව ළං විය.

ඒ දොරකඩ මාපියන් ගෙන් පිරී ගියේ ය. ඔවුන් ආ යානවාහනවලින් පාර අයින ද තද බද විය.

ටිකකින් දහම් පාසල ඇරිණ.

සුදෝ සුදු දරු කැල අතරින් මිදී ආ එක් පොඩි පුතෙක් සිය පියාගේ යතුරු පැදියට නැගුණේ ය.

යතුරු පැදිය පණ ගැන්වී වේගවත් ගමනක යෙදුණේ ය.

එක පිම්මේ ගමට ආ යතුරු පැදිය ගෙවල් කිට්ටුව ඇති කඩයක් ළඟ නතර කැරිණ.

පියා කඩයට ගොඩ විය. පුතු ද ඒ පස්සෙන් ආවේ ය.

“මුදලාලි මට සිගරට් පහක් දෙන්ඩ!”

පියා රුපියල් දෙසීයක් දිගු කළේ ය.

සිගරට් පහත්, ඉතිරි රුපියල් විසි පහත් පියාට ලැබිණ‍.

පියා වහ වහා සිගරැට්ටුවක් දල්වා දෙතොලතර රුවා දුමක් ඇද්දේ ය. ඔහු නාස් පුඩු අතරින් දුම පිට කළේ පෙර නොවූ විරූ ආස්වාදයක් විඳින්නා සේ ය.

පුතු පියා දෙස බලාගෙන සිටියේ ය. පියා විඳින ආස්වාදය පුතුට ප්‍ර‍ෙහ්ලිකාවක් විය. එහෙත් කඩේ රස කැවිලි අතර ඇති මුරුක්කුවල රසය විඳ ගැනීමේ බලවත් ආසාවෙන් නම් ඔහුට මිදිය නොහැකි විය.

මුරුක්කු පැකට් එකක මිල රුපියල් විස්සක් බව ඔහු දැන සිටියේ ය.

“තාත්තෙ, මට මුරුක්කු පැකට් එකක් අරන් දෙන්ඩ! රුපියල් විස්සයි යන්නෙ, ඔතන විසි පහක් තියනවනේ පුතු ඉල්ලා සිටියේය.

පුතු තම ආස්වාදය බිඳිනු පියා නොරිස්සුවේ ය.

“ඒව ළමයින්ට හොඳ නෑ. බඩේ අමාරු හැදෙනව”‍ පියා විරුද්ධත්වය පළ කළේ ය.

“මට මුරුක්කු හොඳ නැත්තං ඔයාට සිගරැට් හොඳ ද?”

“මොනව?”

“‍ඔයා අපරාදෙ සිගරැට්වලට රුපියල් එකසිය හැත්තෑ පහක් වියදම් කෙරුවෙ. ඒත් රුපියල් විස්සක් දීල මට මුරුක්කු පැකට් එකක් අරන් දෙන්ඩ බෑ.”

මේ කතාව කාටත් ඇසිණ.

පියා අන්ද මන්ද වූයේ ය‍.

කඩ හිමියාගේ මුව’ග සිනාවක් නැගිණ. ඔහු දරුවාට සිනාවක් පා අනතුරුව පියා වෙත හැරුණේ ය.

“මේ, කිව්වට අමනාප වෙන්ඩ එපා! ඔයා මින් පස්සෙ සිගරැට් ගත්තත් නොගත්තත් මට කමක් නෑ. හැබැයි, තමන්ගෙ යුතුකම පැහැර ඇරපු තාත්ත කෙනෙකුට ඒක මතක් කරල දෙන්ඩ පුතෙක් හිටපු එක ගැන මට සන්තෝසයි”

පියාට වචන නැති විය.

පාදුක්කේ, අරුක්වත්ත උතුරේ ඇල්. කුලරත්න මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

More News »