දිව ඔසුව

2016-08-31 11:53:00       723
feature-top
සිය බිරිය ගේ දණහිස් වේදනාව වැඩි වෙමින් තිබෙන නිසා මා මිතුරා සිටියේ බලවත් තැවුලිනි. ආතරයිටිස් යනුවෙන් කියැවුණු ඒ රෝග ව්‍යාධිය අතුරු ආබාධ නැතිව සුවකර ගත හැකි වන්නේ සිංහල වෙදකමින් බව ප්‍රකට හෙයින් එය නිට්ටාවට සුව කර ගත හැකි හොඳ සිංහල වෙද මහතකු සිටින්නේ කොහි දැයි ඔහු මගෙන් විමසුවේ ය.

එකෙණෙහි ම මසිතට ආවේ ඊට සිංහල ‍ප්‍රතිකාර ලැබ සෑහෙන සුවයක් ලබා සිටින මගේ ඥාති සහෝදරියකි. එක්තරා වෙද මහත්මියකට පින් සිදු වන්නට දැන් තමන්ට පීඩාවකින් තොරව ඇවිද යා හැකි බව ඇය මට කියා තිබුණා පමණක් නොව එබඳු ‍රෝගීන් හමුවුවහොත් ඒ වෙද මහත්මිය හමුවට යවන ලෙස ද ඇය ඉල්ලා තිබිණි.

මම මිතුරාට ඒ ආරංචිය දුනිමි.

‍ඒ සති කිහිපයකට පෙර ය.

ඉන්පසු මට මිතුරා හමු වූයේ අහම්බෙනි.

“දැන් අර වෙද නෝනගෙන් බේත් කරනව” ඔහු කීවේය.

“කොහොමද ගුණ පණ?”

“ටිකක් හොඳයි. ඒ වුණාට අපේ වයිෆ් සිංහල බේතට කැමති නෑ. දණ හිස් දෙකේම බේත් බැඳගෙන රස්සාවට යන්ඩත් අමාරුයිනෙ. නාන්ඩත් හොඳ නෑනෙ.”

“අමාරුවෙන් හරි කර ගන්නව මිසක් ප්‍රතිකාර අතරමග නතර කරන එක නං හොඳ වැඩක් නෙමේ.”

ඔහු ද සිටියේ මගේ මතයේ ය. එහෙත් තම බිරියට ඕනෑ වී ඇත්තේ කරදර අඩු ඉංගිරිසි ප්‍රතිකාරයක් යැයි කී ඔහු මානසිකව ඇද වැටී ඇති ඇගේ හිත තැළිය නොහැකි බව ද කීවේ ශෝකයෙනි.

ඇගේ නැන්දණියක ඇය බලන්නට පැමිණ ඇත්තේ ඔවුන් මෙසේ දෙපසට දෝලනය වෙමින් සිටි අවස්ථාවේ ය.

නැන්දණිය ද කලකට ඉහත මේ රෝග ව්‍යාධියෙන් පෙළෙමින් සිට තරමක සුවයක් ලද්දියකි. තම ඥාති දියණිය ප්‍රතිකාර මාරු කිරීමට යන බව දැන ගත් ඇය ද දුක් වී තිබේ.

“අනේ දුවේ ඔය ලෙඩේට ඉංග්‍රීසි බේත් ගත්තු අය අමාරුවෙ වැටිලයි ඉන්නෙ. මාත් හොඳ සිංහල බේතක් කරලයි ගොඩ ආවෙ. ඒ වෙද මහත්තය ඉන්නෙ හුඟක් දුර. ඔයා ප්‍රතිකාර ගන්න වෙද නෝන ඉන්නෙ ළඟපාතනෙ. සිංහල බේත තමයි ඕකට බේත‍. ඒ හින්ද අමාරුකං නොබල ඔය සිංහල බේතම කරගෙන යන්ඩ. ඔයාට ඕකෙන් සහනයක් ලැබෙනව දුවේ. ඒක ස්ථිරයි” නැන්දණිය දියණියගේ හිස පිරිමැද්දා ය.

“මේ බේතෙන් මට පොඩි සහනයක් තියනව. ඔයත් ඔච්චරම කියන හින්ද මං එහෙනං දිගටම මේකම කරගෙන යන්නං” දියණිය කීවාය.

නැන්දණිය ගේ පැමිණීම ඔවුනට ආශිර්වාදයක් වූයේ ඒ අයුරිනි.

“නැන්දට එයා හුඟක් ගරු කරන හින්ද දැන් ඉතින් ඒ උපදෙස් අකුරටම පිළිපදීවි” මමිතුරා කීවේ ඉස්පාසුවක් ලබමිනි.

අප දෙදෙනාගේ කතා බහට වුවමනාවෙන් කන්දීගෙන සිටි අමුත්තෙක් ඉතා ආචාර සම්පන්නව අපේ කතාව මැදට පිවිසියේ ය.

අපි ඔහු වෙත හැරුණෙමු.

“මං තරුණ කාලෙ හිටං කෙරුවෙ වොලිබෝල් ගහන එක. ඒක මගෙ විනෝදාංශෙ. සෙල්ලං කරද්දී නිතරම දණ හිස් එකට ගැටිච්ච හින්දද මන්ද මටත් ඔය ලෙඩේ තදටම තිබුණ. අන්තිමේ දී විශේෂඥ වෛද්‍යවරයා කිව්වෙ දණහිස් දෙකටම කෘත්‍රිම දණහිස් දෙකක් බද්ද කරන්න ඕනෑ කියලයි. එක දණ හිසකට රුපියල් ලක්ෂ තුන හමාරක් යනව. මං දෙකටම සල්ලිත් හොයාගෙනයි තිබුණෙ. දොස්තර මහත්තයත් මගෙ දණහිස් ඔපරේෂන් එක කරන්ඩ එක එක පරීක්ෂණ කරමිනියු හිටියෙ...

ඔහොම ඉන්නකොට මගෙ හිතට කුඹුරක් වපුරන්න ඕනෑ කියන ආසාව ආව. තාත්තාගෙන් මට උරුම වෙච්ච කුඹුර පාළුවට ගිහිල්ලයි තිබුණෙ. මං උදැල්ලත් අරං බැරි බැරි ගාතෙ කුඹුරට බැස්ස...

මගෙ නෝනයි දරුවොයි මට නොවැන්ද විතරයි ඔය වැඩේ නං කරන්ඩ එපා කියල.

“ඕකෙන් ඔයා අමාරුවෙ වැටෙනව ඒ හින්ද ඕක කරන්න එපා!” කියල ඒ ගොල්ලො නාහෙන් ඇඬුව. ඒත් මං හිතුවක්කාරයනෙ. මං නෙමේ ඒව ගණං ගත්තෙ. මං කුඹුර කොටල හාල අක්කරයක් වැපිරුව. ඒක හොඳ මඩ කුඹුරක්. දණ ඉස්සත් යට වෙන්ඩ තරමට මඩේ එරෙනව. මං මඩේ එරි එරී දෙපයෙ වේදනාව දරාගෙන කුඹුර වැපිරුවෙ හිතේ හයියටමයි. කොහොම හරි සති ගාණක් කුඹුරෙ බැහැල ඉන්න කොට මගෙ වේදනාව නිකම්ම අඩුවෙලා ගියා. කකුල් දෙකට කලින් නොතිබිච්ච හයියකුත් ආව. කුඹුර වපුරල ඉවර වෙනකොට මගෙ දණහිස් දෙක සෑහෙන්න ශක්තිමත් වුණා. මං ගියා අර විශේෂඥ වෛද්‍යවරය මුණ ගැහෙන්ඩ. එයා බලල කිව්ව දැන් නං ඔපරේෂන් කරන්න ඕනෑ නෑ කියල. ඉතින් මං බොහොම සන්තෝසෙන් ගෙද‍ර ආව. කුඹුරත් සරු වුණා. අර ලක්ෂ හතත් බේරුණා.”

“ඒ කොහොමද?” අපි පුදුමයෙන් විමසීමු.

ඔහු ඊට පිළිතුරු දුන්නේ සිනාවෙන් මුව සරසාගෙන ය.

“කකුල් දෙක හොඳට මඩේ එරුණනෙ. දණ ඉසුත් මඩ යටට ගියානෙ. කකුල් මඩෙන් ඇදල ගන්න කොට කෙණ්ඩවලට එහෙම හොඳ ව්‍යායාමයක් ලැබුණ. ඒව ශක්තිමත් වුණා. ඉන් පස්සෙ දණ ඉස්වල පරණ තිබිච්ච ලෙස්සනසුලු ගතිය ඇති වුණා. ඒකට අර මඩේ තියන යම් යම් රසායනික තත්ත්වයන් හේතු වෙන්න ඇති. ඉතින් මඩ කුඹුරෙන් තමයි මං ගොඩ ආවෙ. අපේ තාත්තලගෙ, ඔය පරණ ගොවියන්ගෙ ඇඟ පත නාකි වෙලත් හරි හයියයිනෙ. රහස ඒක තමයි. අපිට හුඟක් ලෙඩ ආවෙ අපි සාම්ප්‍රදායික කෘෂිකර්මෙන් අයින් වෙච්ච හින්ද!

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

More News »