ගල් පහර

2016-08-29 11:17:00       530
feature-top
මරදානෙන් පිටත් වූ දුම්රිය දෙමටගොඩ හරිය දක්වා ආවේ මඳ ගමනිනි.

දෙමටගොඩ හරියේදී ගමන ඉක්මන් කළා පමණි.

“ඩොහ්!”

මැදිරියේ ජනෙල්වලට ඉහළ කොටසෙහි යමක් තදින් වැදිණ.‍

“ගල් පාරක් නේද?”

“කවුරු හරි ගල් ගහනව!”

ජනෙල් අයිනේ සිටි මගීහු බියපත් වී දෑතින් හිස් ආවරණය කර ගත්හ.

“හොඳ වෙලාවට ගල් පාර වැදුණෙ අහකට! කාගෙ හරි ඔළුවක වැදුණ නං කපෝතියි!”

කලබලයට පත් මගීහු ජනෙල්වලින් පිටත විපරම් කරන්නට වූහ. ජනේලය අසල සිටි මම ද වහා පිටත නිරීක්ෂණය කරන්නට වීමි.

පාර අයිනේ කිසිවෙක් පෙනෙන්නට නොවීය.‍

දුම්රිය මැදිරියේ පා පුවරුව තිබුණේ මට කිට්ටුව ය. එහි ද මගීහු එල්ලී සිටියහ.

“කෝච්චියෙ ඉස්සරහ යන මෝඩයෙක් කෝච්චි පාරෙ හිටිය මෝඩයෙකුට ඕන් නැති විහිළුවක් කරන්ඩ ඇති. ඌ ගලක් අරන් ගහන්ඩ ඇති. ගල්පාර අහිංසකයකුට එහෙම වැදුණ නං වෙන්නෙ මහ විපතක්. ඔය ඕන්නැති විහිළු කරපු මෝඩයව හොයල කන පැ‍ෙළන්ඩ එකක් දෙන්ඩ ඕනෑ” පාපුවරුවේ සිටි තරුණයෙක් කීවේ ය.

“පිස්සු නැත්තං කෝච්චි පාර අයිනෙ යන මිනිහෙක් ලේසියෙන් ගලක් ගහන්නෙ නෑ. මේකෙ යන කවුරු හරි තමයි පාර අයිනෙ යන මෝඩයන්ව අවුස්සන්නෙ. බොරු චණ්ඩි පාට් එකක් දාලා ‘අඩෝ!’ කියල කෑගහනව. එතකොට පාර අයිනෙ ඉන්න මිනිහ ඉබේම නැමිල ගලක් අතට ගන්නව.‍ ඕක තමයි වෙන්නෙ. නිදා ඉන්න කොටි අවුස්ස ගන්නෙ අපිමයි” තවකෙක් කීවේ ය‍.

දුම්රියේ ගමන වඩ වඩාත් වේගවත් වූ අතර පහත් බිම සිප එන සුළඟින් මගීන්ගේ දාහය ද නිවී ගියේ ය.

ටිකකින් දුම්රිය මගීන් බහුතරයකට සිද්ධිය අමතක විය. එහෙත් පා පුවරුවේ එල්ලී සිටියෝ සිය කතා බහ දිගටම කරගෙන ගියහ.

මසිත ද අතීත සිද්ධියකට දිව ගියේය. එදින මා ගමන් ගත් දුම්රිය දෙමටගොඩ දුම්රිය පොළ කිට්ටුවට ළඟාවෙමින් තිබුණේ ඉබි ගමනිනි.

මගීහු ජනෙල්වලින් පිටත බැලූහ. මගේ දෑස ද පිටතට දිව ගියේ ඉබේම ය.

දුම්රිය පාර අයිනේ කෙසඟ මිනිසෙක් යමින් සිටියේ ය. අකලට මහලු වී සිටි ඔහු කිලුුටු ඇඳුමක් ඇඳ සිටියේය.

“නාකිය!”

දුම්රිය මැදිරියේ සිටි ගැටයෙක් කිසි තේරුමක් නැතිව මිනිසා ඇවිස්සුවේ ය.

මගියා වහා විකෘති වූ මුහුණින් ගැටයා දෙස බැලුවේ ය.

“එතකොට උඹ නාකිවෙන්නෙ නෑ! උඹලෑ අම්ම තාත්ත නාකි වෙන්නෙ නෑ! උඹලෑ ආච්චි සීය නාකි වුණේ නෑ!”

මට බකස් ගා හිනා ගියේ ය. මගීහු ද සිනා සුණහ. ඒ දැක මිනිසාට ද හිනා ගියේ ය. ගැටයා කට වසා ගත්තේ ය.

“කවද හරි උඹත් නාකි වෙනව. එදාට උඹම උඹට ‘නාකිය’ කියල කියා ගනිං!” මිනිසා අපේ විනෝදය වැඩි කරමින් කියා දැමුවේ ය. මැදිරියම බක බක ගා හිනා වෙන්නට පටන් ගත් විට ඉන් නොසිතූ ලෙස අමන්දානන්දයට පත් මිනිසා සරම මඳක් උස්සාගෙන නටන්නට වූයේ ය.

හොඳ වෙලාවට ඒ මිනිසා හැම දෙයක් ම සැහැල්ලුවෙන් විඳ දරා ගත් එක්තරා මට්ටමක දාර්ශනිකයකු සේ පෙනිණ. එසේ නොවූ හැඩි දැඩියකු නම් නැමී ගලක් අතට ගෙන දමා ගසනු නියත ය.

මේ අතීත සිද්ධීන් මා මෙහි සඳහන් කළේ ඊයේ පෙරේදා අහිංසක දුම්රිය මගියකු බෝතල් පහරක් කා මිය ගිය සිද්ධිය මෙනෙහි වෙද්දී ය.

දෙමටගොඩ හරියේ දුම්රිය මාර්ගයට යාබද දිළිඳු නිවහන්හි වෙසෙන ඇතැම් අය දුම්රිය පාර අයිනේ සිටිනු බොහෝ විට දැකිය හැකි ය. සමහරු කෝචිචි පීලි මත හිඳ සිටිති. මොවුන් නිරන්තර ජීවන පීඩාවෙන් දුකට පත්ව සිටින්නෝ ය. සුළු දෙයකින් පවා කෝපවීම මෙබඳු මිනිසුන්ගේ සිරිතය. මෙබඳු අයකු කෝප ගැන්වීමකින් තොරව ගලක් ගසනු ඇතැයි සිතිය නොහැකි ය. එසේ කරනවා නම් කරන්නේ සිහි බුද්ධිය අඩු අයෙකි.

මීරිගම ගාමිණී කුමාර මහතා විසින් යොමු කරන ලද සටහනක් ඇසුරෙනි.

More News »