නිහඬ සතුට

2016-08-26 11:08:00       529
feature-top
ගුරුකම පින් කෙතකැයි සිතෙන්නේ ජීවිතයේ වැඩි කාලයක් මා දුෂ්කර පාසල්වල ම සේවය කර ඇති නිසා විය යුතු ය.

දරිද්‍රතාවෙන් බැට කමින් පියවරුන්ගේ තාඩන පීඩන මැද ගෙදර බුදුන් ද රට වැඩිය කල දරුවනට කාගේ හව්හරණක්ද? අපට මුණගැසුණේ එවැනි දරුවන්ය.

6 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය තෙක් රැගෙන ආ සිසු පිරිස අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් කෙරෙන වසර එළඹියේය.

පාසල් පාදක ඇගයීම් පිළිබඳව ඉතාම දැඩි ආකල්ප ගොඩනැඟී ගුරුවරුන් මත බැරි බර පැටවුණු කාල වකවානුවක. දුප්පත් දරුවන් වෙනුවෙන් කළ යුතු බොහෝ දෑ ගුරුවරුන් වෙතින් දුරස් වෙමින් තිබිණ.

අනවශ්‍ය ලෙස ගුරුවරයා පිට ලිපි කටයුතු රැසක් පැටවී තිබිණි. මේ ලේඛන පිරවීමේ සෙල්ලමට වඩා දරුවන් වෙනුවෙන් කළ යුතු බොහෝ දෑ ඇති බව මම පසක් කරගෙන සිටියෙමි. එබැවින් ලිපිගොනුවලට මවිසින් හිමි කර දෙනු ලැබුයේ දෙවන තැනය. ඒ නිසාම මම ඇතැම් නිලධාරී මහත්වරුන්ගේ දෝෂ දර්ශනයට ලක් වූයෙමි. ලිපිගොනුව ගුණාත්මක භාවය හා ප්‍රමාණාත්මක භාවය ගුරුවරයා මනින ප්‍රබල සාධකයක්ව පැවතිණි.

“ගණිතයට දෙයියන්ගේ පිහිටයි!”

“ෆයිල් එක සතේක වැඩක් නෑ...!”

“සේවය සතුටුදායක නෑ..!”

අධ්‍යාපනයේ ඵලදායීතාව ගැනද තව බොහෝ කතිකා ඇසිණි. ඔවුන්ගේ නිර්දයභාවය ඉදිරියේ මම වඩාත් දරුවන්ට සමීප වූයෙමි. පාසල් වේලාව තුළ දරුවන්ට දිය හැකි සියල්ල ලබා දුනිමි. ගුරුවරුන් නොපැමිණි කාලච්ඡේද උදේම වෙන්කරවාගෙන පන්තිවලට ගියෙමි. පාසල් වේල‍ාවෙන් පසුව සති අන්තවල සහ නිවාඩු කාලවල අමතර පන්ති පැවැත්වූයෙමි.

අ.පො.ස. සාමාන්‍ය පෙළ ලියූ දරුවන්ගේ ප්‍රතිඵල නිකුත් විය. පළමු වර පෙනී සිටි දරුවන්ගෙන් අට දෙනෙක් ගණිතය සමත්ව සිටියහ. ඒ අතරින් එක් සිසුවෙක් සහ සිසුවියක් A සාමර්ථ්‍ය ලබා සිටියහ. තවත් සිසුවියක් C සාමාර්ථ්‍යයක් ලබා සිටියාය. ගමේ පාසලේ දුප්පත් දරුවන් මගේ පැතුම් මල්ඵල ගන්වා තිබිණි. මගේ මහන්සිය අපතේ ගියේ නැත. එහෙත් අර සතේක වැඩක් නැති ලිපි ගොනුව අද ඇත්තේ කොහේදැයි නොදනිමි.

ඉන්පසු මා වටා ඒකරාශී වූ ප්‍රශ්නාවලියක් හමුවේ ගුරු ජීවිතයේ අවුරුදු 20ක සේවා කාලයකින් පසුව විශ්‍රාම ගැනීමට මා තීරණය කළේ කලකිරීම මුසු හැඟීමකිනි. එසේ වුවද දරුවන්ගේ ආදරය ගුරු ජීවිතය තුළ මා උපයාගත් ධනය විය.

මේ ඔවුන්ගේම වැකි කීපයකි. ‍‍‍‍‍‍

ත්‍රිකෝණ සංඛ්‍යා වලින්
හතරැස් සංඛ්‍යා වෙත ගොස්
පයිතගරස් ප්‍රමේයයෙන්
ත්‍රිකෝණමිතිය කරා අප ගෙන ගොස්
මවක සේ දයාබර වෙමින්
හෙහෙළියක සේ සමීප වෙමින්
ලක්කම් පෙළහර
විදහා පෑමට අප දිරි ගැන්වූ
ගුරු මෑණියනි,
ඔබටයි මේ උපහාරය!
සැබවින්ම මම භාග්‍යවන්තියක් යයි සිතමි.
 

මාතලේ විශ්‍රාමික ගුරුවරියක විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


Wmqgd .ekSu u��u mqj;am; weiqfrks

More News »