දිරිමත් ලෙහෙනිය

2016-08-22 11:20:00       543
feature-top
ඒ ඉරු දින ද අපි සුපුරුදු ලෙස අලුයම අවදි වීමු.

මා බිරිය තේ බොමින් කුස්සියේ වැඩ පටන් ගත් අතර මම තේ කෝප්පය තොල ගාමින් මිදුලට බැස්සෙමි.

ඉක්බිති පුරුද්දට මෙන් මගේ පා ඇදුණේ පාර අයිනේ විදුලි පහන් කණුව ළඟට ය. ඉකුත් රෑ පුරා දැල්වෙමින් තිබූ පහන නිමා දැමූ මම තේ කෝප්පය හිස් කර මිදුල අමදින්නට වීමි.

නෑඹුල් උදා හිරු එළිය මිදුලේ ඇතිරෙයි. ගහ කොළින් බිමට බට වියළි පත් මගේ ඉදල් රටාවෙන් පහර කමින් තැන තැන ගොඩ ගැසෙයි. ඉන් පසු මම විල්බැරැක්කය සොයාගෙන එමි. කොළ රොඩු එහි පටවා ගෙන අපේ පර්චස් හතළිහේ ඉඩමේ කෙළවර ඇති පුංචි ගොවිපළ දෙසට යමි. එහි පසෙක කොම්පෝස්ට් වළක් වෙයි. රොඩු ගොඩ එහි හැළෙයි.

එළවළු කොටුව උදා හිරු රැස හා හිනැහෙයි. එහි මිරිස්, බටු, බණ්ඩක්කා, කරවිල ආදිය වෙයි. ඒවා පල බර ය. වට්ටක්කා වැලෙහි හැදුණු ගෙඩි දෙකෙහි ද කුස පිරීගෙන එයි.

දිනකට දෙකකට සෑහෙන පරිදි එළවළු නෙළන මම ඒවා දෝතින් ම ඔසවා ගෙන ගොස් කුස්සි මේසය මත තබමි.

‘ෂෝක් නේද?’ ඒ දකින බිරිය ගේ මුහුණ එළිය වෙයි.

දිය බටය ද ඇද ගෙන එළවළු කොටුව දෙසට යන මම එය කරාමයක සවිකොට එළවළු කොටුවට ජලය ඉසිමි. එළවළු ගහ වැල ඒ දිය පහර ඉවසන්නේ සතුටිනි.

මගේ උදෑසන දෛනික කටයුතු එතෙකින් නිමා වෙයි. දිය සප්පායම බලාපොරොත්තුවෙන් සිටින මල් යායයක් ද වෙයි. මම දිය බටය මල් යාය කිට්ටුවට ඇද ඊට දිය වැස්සක් වස්සමී.

මල් ගස් පෙළ දිය දහර ඉවසන්නේ එහි සනීපය විඳිමිනි. තුරු කඳක් බදාගෙන ඉහළ නගින මල් වැලක් දිය පහරේ බරට මදක් පහතට නැමෙයි. වෙනත් කඳක් බදාගෙන සිටින විසිතුරු පත් ගොමුවට නම් දිය පහර ගාණක් නැති සේ ය. එහි මුල් යටින් පහතට බේරෙන දිය බිඳු ‘සට සට’ හඬින් ඊට පහළ ඇති විසිතුරු පත් මත ඇද හැළෙයි.

මේ නයින් මගේ උදෑසන මුල් වැඩ කොටස නිමා විය.

දිය බටය අකුළා ඔසොවා ගෙන ගොස් බිත්ති මුල්ලේ තැබූ මගේ නෙත ගැටුණේ නුපුරුදු දසුනකි.

ඒ වූ කලි බිම පතිත ලොකු ලේන් කූඩුවකි.

කපුටෙක් ඊට ‍කොටමින් සිටියේ ය.

මා පයක් ඉදිරියට තැබුවේ කපුටා පලවා හරිනු පිණිස ය. එසේ ක්‍රියාත්මක වූයේ මා තුළ කුඩා කල සිටි පුංචි දරුවා ය. ඒ සමඟ ම මම නැවතුණෙමි. මා නවතා දැමුවේ මා තුළ දැන් සිටින වැඩිහිටියා ය.

සතුන් ජීවත් වන්නේ දුබලයා අහර කොට ගනිමිනි. මා කළ යුත්තේ ඔවුන් අතරට කඩා නොපැන උපේක්ෂාවෙන් බලා සිටීම ය. මට එසේ සිතිණි. මේසා ලොකු ලේන් කූඩුවක් අපේ ඇස නොගැටී සැඟවී තිබුණේ කොතැන දැයි මට සිතා ගැනීම අසීරු විය. එක්කෝ එය ගෙයි වහල අස්සේ තිබුණා විය යුතු ය. නැත්නම් ගෙට යාබදව ඇති ගරාජයේ වහලේ තිබුණා විය හැකි ය.

සතුරු ප්‍රහාරයකින් සිය කූඩුව බිම වැටෙනතුරු ලේනාත්, ලේනියත් කොතැන ගියේ දැයි සොයනු පිණිස මම තුරු අගිසි දෙස විමසිල්ලෙන් බැලුවෙමි.

මා පුදුමයට පත් කරවමින් ලේනියක් වහ - වහා දිව එමින් සිටියා ය. ඇය එමින් සිටියේ තුරු අගිසි අතරින් වැටී තිබූ විදුලි රැහැන දිගේ ය. විදුලි රැහැනින් අතු පතරට පිවිසි ඇය තුරු ගොමුව අතර සැඟවී ගොස් හිටි හැටියේ ගරාජය ළඟ තාප්පය මතට පිවිසියා ය. එහි සිට මොහොතක් කපුටා දෙස බලා සිටි ඇය තාප්පය දිගේ වහා පහළට බැස ඒ වේගයෙන් ම බිම දිගේ දුවැවිත් කපුටා වෙත පැන්නා ය. මා සිතුවේ කපුටා කොටනු ඇති බව ය. එහෙත් කපුටා බිය වී පස්සට පැන්නේ ය. ඒ අවසරයෙන් ලෙහෙනිය යළිත් කපුටා වෙත පැන්නා ය. කපුටා ද තව වරක් පස්සට පැන්නේ ය. ලෙහෙනිය යළි යළිත් කපුටා වෙත පනින්නට වූ අතර කපුටා බැරිම තැන ඉගිළ ගොස් වහලය මත වැසුවේ ය.

එසැණින් ම ආපසු හරී තාප්පයට නැග ගත් ලෙහෙනිය තුරු අගිසි අතරින් දුව පැන ගොස් වහලට නැග්ගා ය. ඇය දුටු කපුටා එහි දී ද පසෙකට පැන්නේ ය. ලෙහෙනිය දිගින් දිගට ම කපුටා වෙත පැන්නා ය. ලෙහෙනිය ගෙන් බේරෙන්නට බැරි ම තැන කපුටා ඉගිළී ගොස් ගෙට අනිත් පැත්තේ ඇති ගසක වැසුවේ ය.

කපුටා ඉගිළ යනු දුටු ලේනිය ආපසු තුරු අගිසි අතරට වැද රිංග රිංගා ගොස් විදුලි රැහැනට වැදී ඒ දිගේ ඈතට ගියා ය. එය නිමා ව‍ූයේ විදුලි කණුවෙනි. එතැන් සිට තවත් විදුලි රැහැනක් කපුටා සිටි පැත්තට ඇදෙයි. ලෙහෙනිය ඒ විදුලි රැහැන දිගේ ද කපුටා සිටි ඉසව්වට වේගයෙන් දිව ගියා ය. ලේනිය තමා අඹා එනු දුටු කපුටා අහසට ඉගිළී ගොස් නොපෙනී ගියේ ය. හිස ඔසවා කපුටා ඉගිළෙනු බලා සිටි ලෙහෙනිය විදුලි රැහැන දිගේ ආපසු පැමිණ බිම වැටී තිබුණ ලේන් කූඩුව සමීපයට ආවා ය.

මා බිරිය එහි ආවේ මෙවිට ය.

‘ආ මහ විසාල ලේන් කූඩුවක් බිම වැටිලනේ. ඔයා දැක්ක ද?’ බිරිය දෑස ලොකු කොට මදෙස බැලුවා ය.

‘ඒ විතරක් නෙමේ. ලේන් - කපුටු හබේකුත් දැක්ක” යි කී මම දුටු දෙය ඇයට විස්තර කළෙමි.

බිරිය ලේන් කූඩුවට සමීප වෙද්දී ලේනිය සැඟවුණා ය.

බිරිය නැමී ලේන් කූඩුව හොඳින් නිරීක්ෂණය කළා ය.

‘අනේ බලන්ඩකො මේ ලේන්නු කරල තියන වැඩේ! මේකෙ මේ දිලිසෙන්නෙ මොනවද කියලයි මං මේ බැලුවෙ. මේ අපේ ජනෙල් තිරවල ලස්සනට එල්ලෙන්ඩ දාල තිබුණු ටසල්නේ. මුං ටසල් ටික විනාස ක‍රල! අන්තිමට අපටත් නෑ. උන්ටත් නෑ!’ බිරිය දුකින් යන්නට ගියා ය.

ඒ ටිකකින් ලේනිය නැවත ලේන් කූඩුවට කිට්ටු කළා ය.

ලේන් කූඩුව කඩා වැටුණු එකවත් ජනෙල් තිරවල ටසල් ටික කා දැමූ එකවත් මගේ හිත සසල කළේ නැත. මා සසල කළේ කපුටකු පලවා හළ පුංචි ‍ලේනියකගේ ආත්ම ශක්තියයි.

මුහුදට වැටුණු සිය ලෙහෙන පැටවුන් බේරා ගනු පිණිස ලේන යුවළක් සිය වල්ගාවලින් මුහුදු දිය ඉසින්නට ගත් අප්‍රතිහත උත්සාහයක් ගැන කියැවෙන බෞද්ධ කතාවක් මා අසා ඇත. මෙතෙක් මා සිතා සිටියේ එය සාහිත්‍යකරුවන්ගේ ප්‍රබන්ධයක් ලෙස ය. එහෙත‍් මගේ ඇස් පනාපිට ම අද ලෙහෙනියක කපුටකු පලවා හැර පෙන්වූ චිත්ත ශක්තිය හා සසදන කල එදා ඒ ලෙහෙන යුවළ මුහුදු දිය ඉසීමේ කතාව හුදු සාහිත්‍ය ප්‍රබන්ධයක් ම නොවන බව මට පසක් විය.

උඩුගම්පළ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


Wmqgd .ekSu u��u mqj;am; weiqfrks

More News »