මවු කඳුළ

2016-08-15 12:38:00       535
feature-top
‘අනේ සර්, මට වෙච්ච වින්නැහිය බලන්නකෝ!’

ඉකුත් ඇසළ පෝ දා උදෑසන සිව් දරු මවක් මා සොයා’විත් හඬා වැලපෙන්නට පටන් ගත්තා ය.

මා හමුවේ දුක කියා පෑවොත් පිහිටක් ලද හැකිය යන විශ්වාසය ගැමියන් අතර පවතින්නේ කලක් මා උපදිසාපතිවරයකු ලෙස ජනතාවට සේවාව සැලසූ නිසා විය යුතු ය.

ඇය හඬා වැලපෙමින් මා හමුවේ දිග හළ ඒ ශෝකාන්තය මෙසේ ය.

මේ මව හතළිස් හැවිරිදි ය. ඇගේ සැමියා සිව් වැනි බාල දියණිය ඉපදී ටික කලකින් ම වෙනත් එකියක රැගෙන රහසින් පැන ගොස් තිබිණ.

ඇගේ ලොකු දූ කිලෝ මීටර තුන් සියයක් පමණ දුරකට දීග ගොස් සිටියා ය.

පාසල් ගමන නවතා පාප මිතුරන් ඇසුරට වැටී අයාලේ ගොස් සිටි කරදඬු උස් දෙවැනි පුතා කලක පටන් ගෙදර ආවේ ගියේ නැත. තුන්වැනි පුතු ඉගෙනුමට සමත්කම් පෑව ද ඔහුට විය පැහැදම් කිරීමට හයියක් නොවූ මව ඔහු ශාසනයට බාර කළා ය. මේ වන විට පස් හැවිරිදි වියේ පසු වන බාල දියණියට හා ඇයට ජීවිතය ගැට ගසා ගැනීමට ඇති තේ බිම් කඩ ද නියගට අසුවී තිබිණ. ජීවත්වීමට නම් දැන් ඇය කුලී වැඩක් හෝ කළ යුතු විය. එහෙත් කුලී වැඩ පවා නොවී ය.

ලොකු දූ දිග දී දෙවසරක් පමණ ඉකුත් වෙමින් තිබුණ ද එදා මෙදාතුර මවට ඇය බැලීමට යා නොහැකි වූයේ අත මිට හිඟව පැවති නිසා ම ය. දීග ගිය ලොකු දූ ද කවදාවත් මව බැලීමට ආවේ නැත.

දුරකථනයෙන් කලින් කල මව අමතන ලොකු දූගෙන් දිනක් විශේෂ ඇමතුමක් ලැබිණ.

‘අම්මෙ, අපේ දූට දැන් අවුරුද්දක් පිරෙන්ඩත් ළඟයි, එයාගෙ පළමුවෙනි උපන් දිනේ වෙනුවෙන් අපි පින්කමක් කරනව. දානෙකුත් දෙනව. ඔයා එදාට නොවැරදීම එන්න ඕනැ. මං මේ කල්ඇතුව ඒක කියන්නෙ ඔයාට ලෑස්ති වෙන්න කාලයක් ඕනැ හින්දයි.’

‘අනේ ලොකු දුවේ මං නෑවිත් කොහොම ද? මං මොනව කරල හරි එනව එනවමයි’

ජීවත් වෙන්නට අතේ සතේ නැති තමා ලොකු දූගේ කුළුඳුල් දියණියට තෑගි කරන්නේ මොනවා දැයි ඇය දස අතේ කල්පනා කරන්නට වූවා ය. සිය මෑණියන්ගෙන් උරුම වූ රන් වළලු ජෝඩුව උකසට තබා කීයක් හෝ අතට ගන්නට ඇය හිත හදා ගත්තේ බැරි ම තැන ය.

ඉතින් ඇය රන් වළලු ජෝඩුව උකස් කර ගමන් වියදම හොයා ගෙන සිය බාල දියණිය ද කැටුව ලොකු දූගේ ගෙදර බලා කිලෝ මීටර තුන්සීයේ ගමන පිටත් වූවා ය.

ලොකු දූ බෑණාට විවාහ කර දෙන අවස්ථාවේ ඔහුට ස්ථිර රැකියාවක් නොවී ය. එහෙත් මේ වන විට ඔහු සිවිල් ආරක්ෂක භටයකුව සිටිනවා පමණක් නොව ත්‍රිරෝද රියක හිමිකරුවකුව ද සිටී. එය මේ නැන්දම්මාට ආඩම්බරයකි.

තම පවුලම වැටී සිටින නරා වළෙන් මිදුණ ලොකු දූ දැන් වාසනාවට ළගා වෙමින් සිටියි. ‘අනේ ලොකු දුවේ උඹලට හරියන්න ඕනැ’ ඇය එක සිතින් පැතුවා ය.

මව එන තුරු මඟ බලා සිටි ලොකු දූ සිය බාල නැඟණිය හා ගෙට ආ මව සිප වැළඳ සිය කුළුඳුල් දියණිය වඩා ගෙනැවිත් පෑවේ හදේ පිරී තිරී යන සෙනෙහසිනි.

දෙයියන්නේ හරි කියා සිය නිවෙසට එන නැන්දම්මා අතින් කටින් එල්ලාගෙන එනු ඇතැයි සිතා සිටි බෑණා ඇගේ දුප්පත් ගමන් මල්ල දැක අමනාප වූයේ ය. පාලනය කර ගත් ඔහු ගේ කෝපය ටිකින් ටික එළියට පැන්නේ ය.

‘නැන්දම්ම දූ දුන්නට පස්සෙ පැත්ත පළාතෙ ආවෙ නෑනෙ. ඔක්කො ම බර ඇද්දෙ තනි මම. මේ පින්කමටත් මට සෑහෙන වියදමක් ගියා. ඒ හින්ද වියදම පියවගන්න මට ගාණක් දීල ම ගියොත් තමා හොඳ’ බෑණා කෙළින් ම කීවේ ය.

බෑණා ගේ වදන් පහරින් හදවත රිදුණ නැන්දම්මා සිය ලොකු දූ දෙස බැලුවේ අසරණව ය.

‘ලොකු දුවේ, ඔයා දන්නවනේ මං මේ ගමන ආවෙත් වළලු ජෝඩුව උකසට තියල විත්තිය. මගෙ අතේ තියෙන්නෙ ගමන් වියදම විතරයි. එහෙව් එකේ මං කොහොමද සල්ලි දෙන්නෙ? මිනිහ ගිය දා හිට දුක් විඳින මට කොයින්ද දුවේ සල්ලි?’

‘අනේ මං දන්නැ අම්මෙ ඕව’ ලොකු දූ අමනාපයෙන් ඉවත බලා ගත්තා ය.

බෑණා ගේ විමසිලිමත් දෑස නැන්දම්මා ගේ කර මාලය වෙත ගියේ ය.

‘එහෙනං අපිට ඔය රත්තරන් මාලෙ දීල යන්න!’ බෑණා තර කොට කියා සිටියේ ය.

බිය පත් නැන්දම්මා ගේ අත වහා රන් මාලය කරා දිව ගියේ ය.

‘මොනව? මේක දීල කොහොම ද? මේ පුංචි අහිංසකී වෙනුවෙන් මොනව හරි තියෙන්න එපෑ’ මව ද තිර කොට විරුද්ධත්වය පෑවා ය.

බෑණාට යකා නැග්ගේ ය. ඔහු නැන්දම්මාට පහර දෙන්නට පෙරට පැන්නේ ය. එහෙත් අසල්වාසීහු ඉදිරියට පැන ඔහු මෙල්ල කර ගත් හ.

‘හොඳ හිතින් බැහැපිය එළියට!’ බෑණා ගුගුළේ ය.

‘අනේ එපා! අපේ අම්මව එළවන්න එපා!’ යි ලොකු දූ හඬා වැලපෙද්දී ම මව සිය බාල දියණියගේ අතින් අල්ලා ගෙන ගෙයින් මිදුලට බැස්සා ය.

කසාදයෙන් පසු තම නිවෙසට ආ පළමු දවසේ තේ පොදක් බොන්නට තබා විඩා නිවා ගන්නටවත් ඉස්පාසුවක් ‍නොලද අම්මා අසරණව පාරට බසිනු දැරිය නොහැකි ලොකු දූ ‘අම්මේ යන්න එපා!’ යි ආයාචනා කරමින් පස්සෙන් ආව ද මව ඒ ලෝක ලජ්ජාවෙන් පලා ආවා ය.

‘අනේ සර් මට පිහිට වෙන්න! මං තනිය ම මේ පුංචි කෙලීත් එක්ක ජීවිතේට මූණ දෙන්නෙ කොහොම ද? අනේ සර් මං වෙනුවෙන් මොනව හරි කරන්න!’ ඇය මා අබියස යදින්නට වූවා ය.

අහෝ! වියපත් ව සිටින විශ්‍රාමික මා කුමක් කරන්න ද?

‘අපි බලමු මොනව හරි කරන්න. දැන් ඔය අම්ම හිත හදාගෙන ගෙදර යන්න!’ මම සන්සුන්ව කීවෙමි.

ඇය මගෙන් සමු ගත්තා ය.

කඳුළු පිසිමින් ඉවත යන ඇය මා හිතේ මහා කඳුළක් ඉතිරි කර තැබුවා ය.

මට නෙළුම්විල මතක් වූයේ ඈ වෙනුවෙන් කුමක් කරම් දැයි දහ අතේ කල්පනා කරමින් සිටින විට ය.

මිනිස් ගුණ සුවඳින් යුතු පරිත්‍යාගශීලීන් නෙළුම්විල වටා එකතු වී සිටින බව මම දනිමි.

‘ඉතින් මහතුනි, මේ අම්මා වෙනුවෙන් කළ හැකි යමක් කළ මැනව!’ මම කාරුණිකව ඉල්ලා සිටිමි.

ඇගේ ලිපිනයත් දුරකථන අංකයත් මා සතුව ඇත.

හොරණ, බැල්ලපිටියේ, එළවැල්ල පාරේ, 341 ඒ දරන ස්ථානයේ පී.ඒ. ප්‍රනාන්දු මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි. 071 - 5168014 සහ 077 - 6012016 දරන දුරකථන අංක ද සඳහන් කර ඇත.

Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »