මහ හැඬුම

2016-08-12 02:04:00       729
feature-top
සිය පොඩි පුතු පාසලට කැඳවා ගෙන ආ පියා ඔහු පන්තියට බාර දී මිදුලට බැස්සා පමණි.

‘තාත්තේ, යන්ඩ එපා!’ පුතු මොර දෙන්නට පටන් ගත්තේ ය.

‘නෑ, නෑ, පුතා අඬන්ඩ එපා! මං එළියෙ ගහ යටට වෙලා ඉන්නව. කොහෙවත් යන්නෙ නෑ.’ පියා තිර කොට කීවේ ය.

‘එහෙනං මට පේන්ඩ ඉන්ඩ ඕනැ’

‘හා’

පියා පුතුට හොඳින් පෙනෙන පරිදි ගස යටට‍ ගොස් නැවතුණේය. පුතු ආපසු පන්තියට ගියේ එවිටය. එසේ වුව ද පියා පැන යයි දෝ බියෙන් ඔහු විටින් විට ගෙල හරවා පියා දෙස බලන්නට වූයේය.

සෑහෙන වේලාවක් ගත විය. දෙපා කෙඩෙත්තුව හැදුණු පියා මඳක් එහාට ගොස් මුලක් මත හිඳ ගත්තේ ය.

පාඩම අතරමැද නවතා දැමූ පුතා බියපත්ව ‘තාත්තේ’ යි කෑ ගාමින් යළි මිදුලට බැස්සේ ය.

පියාට ලැබී ඇති දඬුවම ලෙහෙසි පහසු නැත.

මේ නිසා ඔහුට මේසන් රස්සාව ද කර ගත නොහැකිව ඇත.

පොඩි පුතුගේ මේ අසාමාන්‍ය හැසිරීමට පාදක වූ මහ දිග කතාවක් තිබේ.

ඒ මෙබඳු ය.

එක්තරා ගැමි මාපිය යුවළකට දරුවෝ දෙදෙනෙක් වූහ. වැඩිමල් දියණියක හා බාල පුතකු වශයෙනි.

දිනක් උදෑසන සැමියා ඇහැරී බලන විට බිරිය පෙනෙන්නට නොසිටියා ය.

ඇය ගැන සොයා බැලූ සැමියාට දැනගන්නට ලැබුණේ ඇය හාද වී සිටි තරුණයකු සමඟ අතුරුදහන්ව ඇති බව ය.

මව නැති දුකට දරුවෝ හඬන්නට වූහ.

අසරණ වූ පියා ද ඔවුන් හා හැඬුවේ ය.

මුලින්ම හැඬිල්ල නැවැත්වූ පියා හිත තද කර ගත්තේ ය. එන හැටියකට මුහුණ දී දිවි ඇති තුරු දරු දෙදෙනා රැක බලා ගත්තෙමි’යි තරයේ අදිටන් කර ගත්තේ ය.

‘දරුවනේ උඹල අඬන්ඩ එපා! අම්ම යන්ඩම ගියාවෙ. මීට පස්සෙ උඹලගෙ අම්මත් තාත්තයි දෙන්නම මම!’

ඔහු දෙදරුවන් බදා සිප ගත්තේ ය.

ඊළඟට ඇඬිල්ල නැවැත්වූයේ දියණියය. ඇය ද පුංචි හිත තද කරගෙන ගෙදර වැඩපළ කර ඒ වන විටත් හඬමින් සිටි මලයා ද කැටුව පාසල් ගියා ය.

කෙමෙන් කෙමෙන් අක්කණ්ඩිය මලයණ්ඩිය ගේ අම්මා බවට පත් වූවා ය. පොඩි එකා ද අක්කණ්ඩියගේ සෙවණේ මවු සෙනෙහස සෙව්වේ ය.

හිත ගලක් මෙන් සවිමත් කර ගෙන මේසන් රස්සාව කළ පියා දරුවනට කවා පොවා රැකවරණය සැලසුවේ ය.

කලක් යන විට දරුවන්ගේ අම්මා පිළිබඳ මතකය ගෙදරින් දුරස් විය.

අක්කණ්ඩිය ද නව යෞවනියක වූවා ය. ටික කලක දී ඇය අම්මාගේ කපාපු පළුවක් මෙන් හැඩ වූවා ය.

යොවුන් බමරෙක් ඈ වටා කරක් ගසන්නට පටන් ගත්තේ ය. ඇය ද ඔහුට වසඟ වූවා ය.

අම්මා අහිමි වූ මූසල උදෑසන සිහි ගන්වන දෙවැනි මූසල උදෑසන ද එළඹියේ ය.

පොඩි එකා ගේ දෙවැනි අම්මා ද ගෙදරින් අතුරුදන්ව සිටියාය.

පොඩි එකා ගම දෙවනත් කරමින් අක්කා හොයද්දී පියා තවදුරටත් හිත ගල් කර ගත්තේ ය.

‘තාත්තෙ අක්ක නෑ’ පැතුම් සුන්ව ආපසු ආ පොඩි එකා අඬා ගෙන තාත්තා ළඟට දුව ආවේ ය.

‘කවුරු නැතත් උඹට මං ඉන්නවනේ පොඩි එකෝ’ තාත්තා ඔහු වැලඳ ගත්තේ ය.

‘මට අම්මත් නෑ. අක්කත් නෑ.’

‘කමක් නෑ. උඹට උඹේ තාත්ත ඉන්නව. තාත්ත කවදාවත් උඹට නැති වෙන්නෙ නෑ.’

‘අනේ තාත්තෙ’ පොඩි එකා බිලිඳකු මෙන් පියාට වඩා ගන්නැයි දෑත දිගු කළේ ය. පියා ඔහු වඩා ගත්තේ ය.

එතැන් පටන් පුතු තමාට අහිමි වූ පළමු මවු සෙනෙහස ද, දෙවැනි මවු සෙනෙහස ද සොයන්නට වූයේ පිය සෙනෙහස තුළ ය. ඔහු සිය පියා වැර කොට බදා ගත්තේ මවත්, අක්කණ්ඩියත් මෙන් පියා ද කොයි මොහොතේ හෝ තමා හැර යතැයි යන මහ බියෙනි.

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති ගම්පහ ප්‍රදේශයේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද සටහනක් ඇසුරිනි.


Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »