යහපත් පුරවැසියෝ

2016-08-09 11:48:00       723
feature-top
මා පාසලට ඇතුළු වන විට ම සිසුවියක් දුවැ’විත් මා පිළිගත්තා ය.

‘සුබ උදෑසනක් වේවා! සර්’

‘එසේ ම වේවා!’ මම ද සුබ පැතුවෙමි.

‘සර්, ඔෆිස් එකට ගිහින් වාඩිවෙලා ඉන්ඩ!’ විදුහල්පති කාර්යාලය පෙන්වමින් එසේ කී ඇය මගෙන් සමුගෙන ගියා ය.

මම කාර්යාලයට ගියෙමි.

කිසිවෙක් එහි නොවී ය. මම අසුනකට බර වුණෙමි.

මගේ අත්ඔරලෝසුවේ උදෑසන අට සටහන් විය.

සිසුවියක් දුවැ’විත් සීනුව නාද කළා ය.

පන්තිවල සිටි දරු දැරියෝ නැඟිට පන්සිල් ගත් හ. අනතුරුව මල් පූජා කළහ. ඉනික්බිති යළි අසුන් ගෙන පොත් පෙරළා ගත් හ.

පෙර දින ගුරුවරුන් විසින් පවරන ලද වැඩ ගැන ඔවුන් කතා බහ කරනු ඇසිණ.

ගුරු මහත්මියක් වේගවත් ගමනින් පාසලට ආවා ය. මගේ යතුරු පැදිය දුටු ඕ විදුහල්පති කාමරයට කිට්ටු කළේ සෝදිසියෙනි.

අධ්‍යාපන නිලධරයකු පැමිණ ඇතැයි ඇය සිතුවා විය යුතු ය. මා දුටු ඇගේ බිය පහ වූ බව පෙනිණ. ආපසු හැරී පන්තියකට ගිය ඇය ගිය වේගයෙන් ම ආපසු පැමිණ ලේඛනයක අත්සන තැබුවා ය. මා නිසා අත්සන තැබීමට ද බැරි වී ඇත.

අටයි තිහ වන විට ගුරුවරු කිහිප දෙනෙක් ම ආහ. ඔවුන් අත්සන් කොට තම තමන් ගේ පන්තිවලට ගිය අතර ගුරුවරුන් නැති පන්තිවල ළමයි පුරුදු පරිදි පොත් පෙරළා ගෙන වැඩ කළ හ.

සීනු හඬින් මගේ කල්පනාව බිඳිණ. අර දැරිය නැවත පැමිණ සීනුව ගසමින් සිටියා ය. මුල් කාල පරිච්ඡේදය අවසන් ය.

මා පාසලට ගියේ විදුහල්පති හමු වී ‘විදුලි පෑස්සුම් ශිල්පය’ පුහුණු කරවීම පිණිස පාසල හැර ගිය සිසුන් පිරිසක් මවෙත යොමු කර ගනු පිණිස ය.

ඒ කෙසේ වුව ද මේ පාසලේ දරු දැරියන් කෙරෙහි මා තුළ පහළ වූයේ ලොකු සෙනෙහසකි.

මේ සිද්ධිය මගේ අතීත මතක සටහන් අතර නොමැකෙන ලෙස ලියැවී තිබේ.

එදා ගුරු ගෞරවය රැක දී තම ගෞරවය ද රැක ගත් මේ දරු පිරිස අද කොතැනක සිටිය ද තම යුතුකම් ටික නොපිරිහෙළා ඉටු කරන බව නම් පැහැදිලි ය.

එවන් පුරවැසියන් වාසනාවන්!

බිංගිරියේ, කොස්වත්තේ, විශ්‍රාම ලත් ආචාර්ය ඩී.එන්. දිසානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu ��r mqj;am; weiqfrks

More News »