සොඳුරු යුවතිය

2016-08-08 12:22:00       541
feature-top
ඈ උදා හිරු කිරණ මැදින් හිනැහීගෙන අපේ ගෙමිදුලට ආවා ය.

ඇගේ අතක සුදු ලියුම් කවරයක් විය.

‘මගෙ කොම්පියුටර් පන්තියෙ ආරම්භක උත්සවේට එන්ඩ කියල ආරාධනා කරන්ඩයි ආවෙ.’

ඇය මට සුදු ලියුම් කවරය දුන්නා ය.

මම ඈ ඉදිරියේ ම එය විවර කර බැලුවෙමි.

මල් කමින් කළ සුන්දර ඇරියුම් පතෙකි.

‘හොඳයි මං එන්නම්!’

ඇය සිනා පා ගෙන ම මගෙන් සමු ගත්තා ය.

මම උත්සව අවස්ථාවට සහභාගි වීමි. මා දන්නා හඳුනන අය ද එතැන වූහ.

අලුත් පන්තියට යෞවනියෝ ආහ.

‘පුංචි කාලෙ ඉඳන් ම කොම්පියුටරේට අත හුරු කර ගන්න ඕනැ’ ඇය යෞවනියන් ගේ තනියට ආ පුංචි දරුවන්ට ද කොම්පියුටරය හුරු කරන්නට වූවා ය.

එතැන් පටන් අප හා ඇගේ ඇසුර වඩාත් සුහද විය.

‘අපි තවත් අලුත් වැඩක් කරමු!’ දිනක් ඇය යෝජනා කළා ය. ඒ වූ කලි විද්වතුන් ගෙන්වා මාසික හමුවක් පැවැත්වීම ය. ඒ හමු කෙතරම් මිහිරි වී ද කියතොත් විද්වත්හු සිය සේවාව නොමිලේ ම සැපැයූ හ.

සෝම හාමුදුරුවන් හදිසියේ අපවත් වූ දින ඇය මහත් සේ ශෝක වූවා ය. පන්තිය ඇගේ ශෝකයට ඉඩකඩ සැලසුවේ මීයට පිම්බාක් මෙන් නිසල වීමෙනි.

‘අපි හාමුදුරුවො වෙනුවෙන් දානයක් දෙමු!’ ඇය යෝජනා කළා ය. හැමදෙනාගේ ම උදව් ලැබ ඇය හොඳ දානයක් දුන්නා ය. ඈ පන්ති නොපවත්වන දිනවල අපි අපේ සාහිත කලා සාකච්ඡා සඳහා පන්ති කාමරය ඉල්ලා ගතිමු. ඇය අපට ඉඩ දුන්නා පමණක් නොව සතුටින් සංග්‍රහ ද කළා ය.

මෙලෙසින් අපි කලක් විසුවෙමු.

‘මට මෙහෙම ඉන්න වෙන්නෙ ටික දවසයි’ ඇය දිනක් මට කීවා ය.

‘ඇයි මිස් එහෙම කියන්නෙ?’ මම ඇසීමි.

‘මගෙ මහත්තය වැඩ කරන්නෙ පිටරට. එයා මෙහෙ එන්නෙ ඉඳ හිට. මේ පාර අවම මාව එක්කරගෙන යනව එහෙ ස්ථිර පදිංචියට. මට ඔයාලව දාල යන්නයි වෙන්නෙ: අනේ මං කොහොමද යන්නෙ?’

ඉන් පසු දිනෙක කොම්පියුටර් පන්තිය වසා තිබිණ. ඒ සුන්දර ගුරුවරිය රට හැර දා යන්නට ඇතැයි සිතුණ මට දුකක් දැනිණ.

වැඩි කලක් ගත නොවී ය.

දිනක් මා හමුවන්නට ආ මිතුරෙක් සිය ජංගම දුරකථනයේ වූ පින්තූරයක් මට පෙන්වී ය.

එහි වූයේ නිදා සිටින යුවතියකි. ඇය අර සුන්දර ගුරුවරිය නොවේ දැයි මට සිතිණ. ඇය පෙට්ටියක් තුළ නිදාගෙන කරන සෙල්ලම කුමක්දැයි අසමින් මම විහිළුවක් කළෙමි.

‘විහිළුවක් නෙමේ. මේ එයාගෙ අන්තිම පොටෝ එක!’ මිතුරා කීවේ ය.

මම ගල් ගැසී ගතිමි.

‘මහත්තයත් එක්ක ඇමෙරිකාවෙ හයිවේ එකක යද්දි ඇක්සිඩන්ට් වෙලා එයා නැති වුණා! මහත්තයටත් අමාරුයි!’

මම සසලව ගියෙමි.

ඒ දඟකාර, කෙළිලොල්, බුද්ධිමත්, සොඳුරු යුවතිය අප නොදැනුවත්ව ම අවසන් ගමන් ගොසිනි. මම ශෝක වීමි.

දැනුදු පාරේ යන විට මට ඇගේ කොම්පියුටර් පන්තිය දෙස ඉබේ බැලෙයි. එය දැන් තාප්පකින් වැසී ගොසිනි. එහෙත් ඇගේ සිනා හඬ ඇසෙනවා සේ මට දැනේ.

කැලණියේ, වරාගොඩ, පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu ,la�u mqj;a m; weiqfrks

More News »