වියෝ ගීය

2016-08-04 01:07:00       729
feature-top
කලක් එක්තැන් ව ලෙඩ ඇ‍ඳෙහි ම විසූ මෑණියන් මිය යන විට අසූ විය ද ඉක්මවා තිබිණ.

ඇගේ දෙණ මල් හලෙහි සිට නිවෙසට ගෙන එන ලද්දේ දරු මුනුබුරන්ගේ අ‍ඳෝනා මැද ය.

සිය මෑණියන්ගේ නිසල සිරුර දෙස ශෝකයෙන් යුතුව බලා සිටි දියණිය සිය පියාණන් සොයන්නට වූයේ ඔහු පෙනෙන්නට නොසිටි බැවිනි. එහෙත් ඔහු නොසිටියේ ය.

කලබල වූ ඇය ඔහු සොයා ඇවිද්දා ය.

පියාණන් සිය සයනයේ ගුළිව නොදරුවකු සේ හඬමින් සිටිනු ඇය දුටුවේ මෙවිට ය.

කලකට පෙර මහා පෞරුෂයකින් හෙබි විදුහල්පතිවරයකු ව සිටි තම පියා ගේ මේ හැඬුම දැක ඕ විස්සෝප වූවා ය.

‘තාත්තෙ, අනේ තාත්තෙ ඔහොම අඬන්ඩ එපා!’ ඇය ඔහු අස්වසාලන්නට යත්න දැරුවා ය.

ටිකකින් හැඬුම බාල කළ පියා බිඳුණු හඬින් දියණිය ඇමතුවා ය.

‘දුවේ, මීට හැට අවුරුද්දකට ඉස්සර ඔයාගෙ අම්ම මනමාලියෙක් වෙලා සුබ මොහොතින් රතිඤ්ඤා සද්ද මැද්දෙ මේ ගෙදරට පය තිබ්බෙ හරියට ම මේ මාසෙ මේ දවසෙමයි. අද ඒ මාසෙම ඒ දවසෙම එයා ආවෙ මිනී පෙට්ටියෙන්. මේක මහ පුදුමයක් දුවේ’

දියණිය පියාණන් ගේ අත අල්ලා ගත්තා ය.

‘දුවේ, ඒ කාලෙ අපේ පවුල්වල හැටියට වැඩිහිටියො තමයි හැම දෙයක්ම තීරණය කෙරුවෙ. ඔයාගෙ අම්ම හරි අහිංසකයි. බඩුවක් - මුට්ටුවක් ගන්ඩ කඩේකටවත් යන්ඩ දැනං හිටියෙ නෑ. මං එයාව බලාගත්තෙ හරියට ළමේක්ව බලා ගන්නව වගේ. අපේ ගෙවල්වල හුඟාක් වැඩ තිබුණ! එයාට ඒ ඔක්කොම වැඩ කරන්ඩ සිද්ධ වුණා! ගෙදර වැඩවලින් ඉස්පාසුවක් නැති හින්ද හුඟක් වෙලාවල්වලදි මං යන තැන්වලට මං එයාවත් එක්කරගෙන ගියා...’

දියණිය පියාණන් ගේ අත පිරිමැද්දාය.

‘දුවේ, එයාගෙ මව්-පිය උරුමෙන් හුඟක් දේවල් ලැබෙන්ඩ තිබුණ. ඒත් ඒව ලැබුණේ නෑ. ඒව ගැන ‍හොයන්ඩ එයාට දැනුමක් තිබුණෙ නෑ. මං ඒව ගැන හොයන්ඩ උනන්දු වුණෙත් නෑ. ඒත් ඉතිං මං මගෙ ශක්ති ප්‍රමාණයෙන් එයා වෙනුවෙන් සියලු ඕනැ-එපාකම් ඉෂ්ට කළා...’

පියා මොහොතකට ගොළු වූවේ ය.

ඒ නිමේෂයේ දියණිය සිය මතකය දිගේ කුඩා කාලයට ගියා ය.

‘මේං දුවේ බත් කන්ඩ!’ මව ඇයට කීවා ය.

ඇය පිඟාන අතට ගන්නට පෙර එහි පරිප්පු ඇද්දැයි බැලුවාය.

පරිප්පු තිබුණේ නැත.

‘පරිප්පු කෝ?’ ඇය ඇසුවාය.

‘හැමදාම පරිප්පු කන්ඩ ඕනැ නෑ. අද ඕව කන්ඩ!’ මව කීවා ය.

ඇයට දුකක් දැනිණ.

‘මට පරිප්පු නැතුව කන්ඩ බෑ!’ ඇය හඬා වැටුණා ය.

පරිප්පු ඉල්ලා හඬා වැටෙන දියණිය දෙස බලා ගෙන සිටි පියා ගේ හිත උණු විය.

‘ඇයි ළමය ඉල්ලන දේ උයල දෙන්නෙ නැත්තෙ?’ යි කියමින් පියා බිරියට කෑ ගැසුවේ ය.

පියා මවට බණිනු අසා සිටි දියණියගේ හිත සසල වූයේය. අම්මා බැණුම් අසන්නේ මා නිසා නොවේදැයි ඇගේ පුංචි හිත ඇයට කීවේ ය. වහා හැඬුම නවතා දැමූ ඇය පරිප්පු නැතුව බත් කන්නට වූවා ය.

ඇය වහා අතීතයෙන් මිදී පියා දෙස බැලුවා ය. ඔහු නිහඬ ය. ගෙතුළින් නික්ම හෙමිහිට සාලයට ආ ඇය මවගේ දෙණ ළඟ නැවතී නිහඬව එදෙස බලා සිටියා ය.

රත්නපුරේ, ගෝනකුඹුරේ, එච්. වී. චන්ද්‍රසිරි මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu oskusK mqj;a m; weiqfrks

More News »