කොන්දොස්තර කඳුළ

2016-08-01 10:57:00       723
feature-top
පුතුත්, මාත් බසයට නැඟුණේ නගරයේ ගමනාරම්භයේ දී ය.

අපේ ටිකට් පත් දෙකට ගාන තිස් හයකි. රුපියල් හයක් නොමැති වූයෙන් මම විස්සේ කොළ දෙකක් සූදානම් කර ගතිමි.

නෝට්ටු පමණක් අත දරා සිටි කොන්දොස්තර මා දුන් මුදල ගෙන ටිකට් පත් දෙක එකට කඩා දී ඒ පිටුපස 4 සටහන් කොට ඒ වටා රවුමක් ද යොදා මට දුන්නේ ය.

මා සමීපයේ අසුන් ගෙන සිටි මගියකු මගේ බඳුම වටිනාකමැති ටිකට් පත් දෙකක් ගැනීම සඳහා කොන්දොස්තරට දිගු කළේ පන්සියයේ නෝට්ටුවකි. කොන්දොස්තර කේන්තිය පාලනය කර ගනිමින් මාරු සල්ලි ඉල්ලුවේ ය. අභිනයෙන් ‘නෑ’ යි කී මගියා සිය ස්මාර්ට් ෆෝනය මත ඇඟිලි දුවවන්නට වූයේය.

‘බස් එක අදින්ඩ කලින් කිව්ව නං කඩේකින් හරි මාරු කරල දෙන්ඩ තිබුණනේ. හොඳට බලන්ඩ මාරු සල්ලි කීයක් හරි ගන්ඩ නැද්ද කියල’ කොන්දොස්තර සිය ඉවසිල්ල තවදුරටත් රඳවා ගත්තේ ය.

මගියා පෙර පරිදිම ‘නෑ’ යි අඟවමින් සිය කටයුත්තෙහිම යෙදුණේය.

කොන්දොස්තරට ඉබේම බැලුණේ තමා දෙස බලා සිටි මා දෙසය.

‘බස් එක ගත්තෙ මේ දැන්! ඉතින් කොහෙන්ද මාරු සල්ලි? මිනිස්සුන්ගෙන් ලැබෙන මාරු සල්ලිවලින්ම තමයි ගනුදෙනු බේරගන්ඩ වෙන්නෙ. ඒකයි මේ හුඟ දෙනකුගෙ ටිකට් එක පිටිපස්සෙ බැලන්ස් එක ලියල දුන්නෙ, ‘ඔහු සිය ගැටලුව මට කියා සිටියේ’ හැමෝටම ඇසෙන සේය.

අනතුරුව අර 500 ඉල්ලා ගත් ඔහු ටිකට් පත් දෙක කඩා ඒ පිටුපස යමක් සටහන් කොට මගියාට දී ඉදිරියට ගියේය.

මට රුපියල් 4ක් වැනි සුළු මුදලක් දෙන්නට පවා ඔහු ළඟ මුදල් නැති වූ හේතුව මට පැහැදිලි විය. බසයෙන් බසිනතුරුම ඔහුට මාරු සල්ලි නොලැබුණත් මා ද හිස් අතින් බැස යා යුතු ය. මා සිතෙහි හට ගත් දොම්නස මුදලෙහි වටිනාකමට වඩා බෙහෙවින් වැඩි විය.

මා බඳු කී දෙනෙක් සුළු මුදලක් නිසා හිත් නරක් කර ගන්නවා ද? මොහු වැනි ‘කොන්දොස්තරලා කී දෙනෙක් මාරු සල්ලි හුටපටය නිසා මගීන් ගෙන් බැණුම් අසනවා ඇද්ද? මිනිසුන්ගේ හිත් නිතර - නිතර අපවිත්‍ර වීම සමාජයේ යහපැවැත්මට හානිකරය.

රාජකාරිය බාරගන්නා අවස්ථාවේදීම කොන්දොස්තර කෙනෙකුට ටිකට් මැෂිම ද සමඟ මාරු සල්ලි මිටියක් දීමට බලධාරීන්ට බැරි ද? ඉස්සර එසේ නොකැරුණේ ද? රටේ ප්‍රකට සිද්ධස්ථානවලට පඬුරු වශයෙන් දිනකට වැටෙන මාරු සල්ලි කඳ කඩිනමින් ඩිපෝවලට ලබා දීමේ ක්‍රමවේදයක් සැකසිය නොහැකි ද? බලාගෙන සිටියදී සමාජය අපවිත්‍ර වන මාරු සල්ලි ප්‍රශ්නය කෙරෙහි ආර්ථික සැලසුම්කරුවන් සංවේදී නොවන්නේ ඇයි? ඒ ටික වේලාව ඇතුළත මගේ යහපත් පුරවැසි සිතෙහි එබඳු සාධාරණ ප්‍රශ්නාවලියක් පැන නැංගේ ය.

මේ අතර සෑහෙන දුරක් යමින් සිටි බසයට අතරමඟදී තවත් මගීහු ගොඩ වූහ. ඔවුන්ගෙන් ලැබුණු මාරු සල්ලිවලින් බසයේ අවුල තරමකට විස‍ඳෙමින් පැවතියේය. ඒ අනුව කොන්දොස්තර මවෙත පැමිණ ටිකට් පත ඉල්ලා ගෙන එහි සටහන කපා දමා මගේ රුපියල් හතර ද දුන්නේ ය. එසේ වුව ද යළිත් අවුල හට ගත්තේ ය.

අතරමැද හමු වූ නගරයක දී බැස යෑමට සූදානම් වූ වැඩිහිටියෙක් ඉතුරු සල්ලි ඉල්ලුවේය.

‘රුපියල් දෙකක් දෙන්ඩ නෑ. ඔක්කොම තියෙන්නෙ කොළ සල්ලි! පේන්නැද්ද මේ!’

කොන්දොස්තර නෝට්ටු ටික මගියාට පෑවේය.

මගියා මොන මොනවාදෝ කියමින් බැස ගියේය.

‘ඔය දැං ඉතිං බැණ බැණ යනව! අපේ අම්මත් බැණුම් අහනව!’ කොන්දොස්තර මදෙස බැලුවේ මුහුණ නරක් කරගෙනය.

ඩිපෝවෙන් බස් එක ගන්නකොට මාරු සල්ලි ටිකක් ඉල්ල ගන්න ක්‍රමයක් නැද්ද?’ මම ඇසීමි.

‘නෑනෙ. ඒ තියා නීතියෙ හැටියට අමතර රුපියල් 30කට වඩා අපි ළඟ තියාගන්ඩත් බෑ’

මම ගොළු වීමි. එහෙත් කොන්දොස්තර දිගටම කතා කළේය.

‘...ඔයාට කියන්ඩ, ඉස්සර මිනිස්සු මෙහෙම නෑ. ටිකට් එකේ ගාන අතේ තියාගෙනයි බස් එකට නැග්ගෙ, දැන් ඉන්නෙ මහ පුදුම ජාතියක්. කොළ සල්ලිමයි දික්කරන්නෙ. මාරු සල්ලි ඉල්ලපුහම ‘ඤැහ්’ ගානව. අන්තිමේ දී ගෙදර ඉන්න අපේ අම්මලටත් බැණ බැණ යන්ඩ යනව... අම්මප දැන් මට මේ රස්සාව එපා වෙලා! වෙලාවකට දමල ගහල යන්ඩත් හිතෙනව. ඒ එතකොට දරුවො දුකේනෙ. ඒ හින්ද කාගෙන ඔහෙ කරනව. ඒත් ගෙදර ඉන්න අර අහිංසක අම්මට බණින කොට තමයි මට යකා නගින්නෙ. ඒ ගොල්ලො දුක් විඳල අපිව හැදුව මදිවට කොහෙවත් තියන ප්‍රශ්නෙකටත් බැණුම් අහනව. මුං ටිකට් එකේ ගාන අතේ තියාගෙන එන්නෙ නැති එකට ගෙදර ඉන්න අම්මයි පළි!’ ඔහුට හැඬුම් යන්නට ආවේය.

‘මාරු සල්ලි ප්‍රශ්නෙ ගෙවල්වලටත් බලපානව ඇතිනෙ. හැමෝටම මාරු සල්ලි හොයා ගන්ඩ අමාරුයි’ මම කීමි.

‘උවමනාව තියනව නං මොකද බැරි මහත්තයො? ලේසියට කොළේ දික්කරනව. ඒකයි මං ටිකට් එකේ බැලන්ස් එක ලියල දෙන්නෙ. ඔන්න එතකොට යස අගේට පර්ස් එකෙන් මාරු සල්ලි එළියට එනව. අද ඉන්නෙ අනුන් ගැන නොහිතන ආත්මාර්ථකාමි මිනිස්සු වගයක්. හැමෝම කොළ දික්කරන කොට මං මාරු සල්ලි අච්චු ගහන්ඩ ද? ඉස්සර මිනිස්සු වාසනාවන්! ඒකටත් එක්ක දැං උං!’ කොන්දොස්තර වේගයෙන් ඉදිරියට ගියේය.

නයිවල ජී. ඩී. පද්මකුමාර මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


Wmqgd .ekSu u��u mqj;am; weiqfrks

More News »