දෙවියන් දැකීම

2016-07-29 10:26:00       723
feature-top
මගේ මිතුරකු රැකියාව කරන්නේ අප්‍රිකානු රටක ය. ඔහු සිය දරු පවුල එහි රැගෙන නොයන්නේ එරට දේශගුණය ඔවුනට ඔරොත්තු නොදෙතියි ඔහු විශ්වාස කරන නිසා ය.

පියාත්, මවත්, දරුවෝත් නිතිපතා ස්කයිප් මාර්ගයෙන් හමුවෙති. එහෙත් එය ගෙදර ඉන්නවා වගේ නොවේයැයි කියන මමිතුරා විවේක ඇති හැම වෙලාවකම එහි ගොස් ඔවුන් ගැන සොයා බලන හැටියට මගෙන් ඉල්ලයි. මම ද හැකි පමණ ඒ යුතුකම ඉටු කරමි.

මමිතුරා ගේ හොඳ පුරුද්දක් ති‍ෙබ්. ඒ පත පොත කියවීමයි. අන්තර්ජාලය ඔස්සේ ද තම දැනුම හා ලෝකය පිළිබඳ අවබෝධය පුළුල් කර ගැනීමයි. තමා කියවා දැන උගත් යම් යම් විස්මිත දේ තම දරුවනට විටින් විට ලියා එවීම ද ඔහු ගේ අපූරු පුරුද්දකි.

පියා ඔවුනට එවූ ලිපි අතර මෙබඳු අපූරු කතාවක් ද විය.

එය පහත ලියමි.

එක්තරා පුංචි දරුවෙකුට දෙවියන් මුණගැසීමට අවශ්‍ය විය. ඔහු සිය ගමන්මල්ල ද උරයෙහි එල්ලා ගෙන දෙවියන් සොයා නිවෙසින් පිටත් විය. ඔහු ගේ උර මල්ලෙහි පොරි ඇට වගයක් ද බීමට ජලය ද විය.

මෙසේ යන අතරමඟදී ඔහු උයනක් දුටුවේ ය. එහි තැනෙක මිත්තණියක් පරෙවියන් දෙස බල බලා සිටියා ය.

පුංචි එකාද ඇය සමීපයට ගොස් ඈ මෙන් ම හිඳ ගත්තේ ය.

මිත්තණිය ඔහු දැක සිනාවක් පෑවා ය. ඔහුට ඒ සිනාවේ ළෙන්ගතුකමක් දැනිණ.

දෙදෙනා ම පරෙවියන් දෙස බලමින් ඔහේ හිඳ සිටියහ.

ටිකකින් පුංචි එකාට පිපාසය දැනුණේ ය. ඔහු මල්ලෙන් වතුර බෝතලය ගෙන එහි මූඩිය විවර කරන ගමන් මිත්තණිය දෙස බැලුවේ ය. ඇය කුසගින්නේ සිටිති’යි ඔහුට හැඟිණ. බෝතලය පසෙක තැබූ ඔහු මල්ලට අත දා පොරි අහුරක් ගෙන ඇයට පෑවේ ය. දෝත පුරා එය පිළිගත් මිත්තණිය අර ළෙන්ගතු හිනාවම පෑවා ය. ඒ හිනාව කෙතරම් ළෙන්ගතුවීද යත් යළිත් එය දැක ගැනීමේ ආශාවෙන් පොඩි එකා දිය බඳුන ද ඇයට පෑවේ ය. ඇය යළිදු සිනා පෑවා ය.

පුංචි දරුවාගේ සතුට නිම් හිම් නැති විය.

දෙදෙනා ‍පොරි කමින්, දිය බොමින් බො‍හෝ වේලාවක් සිටියහ. එහෙත් වචනයකුදු හුවමාරු කර නොගත්හ. හුදු වචනවලට වඩා හැඟීම් ප්‍රබල බව දෙදෙනා ම අවබෝධ කර ගත් සේ ය.

සැඳෑ අඳුර ගලා ආවේ ය. ළමයාට ගෙදර සිහිපත් විය. ඔහු නැගිට්ටේ ය. මිත්තණිය සිනාවක් පෑවා ය. ඔහුට ඒ සිනාව නැතුව ම බැරි විය. වහා ඈ වෙත නැඹුරු වූ ඔහු ඇය සිප ගත්තේ ය. එවිට ඇය වඩවඩාත් ලස්සනට සිනා පෑවාය.

හිතේ සතුට වැඩි වූ බැවින් පුංචි එකාට දෙවියන් සෙවීම අමතක විය.

ඔහු වහා ගෙදර ගියේ ය.

තම පුතු ගේ මුව කමල කවදාවත් නැති තරමේ සතුටකින් පිරී තිබෙනු දුටු මව ඊට හේතු විචාළා ය.

‘අද මං දෙවියො දැක්කා! දෙවියන්ගේ මූණෙ තියෙන්නෙ සුන්දර හිනාවක්’ යැයි ඔහු පිළිවදන් දුන්නේ ය.

මේ අතර අර මිත්තණිය ද ගෙදර ගියා ය. ඇගේ වත මඬලේ ද වූයේ මෙතෙක් නොවූ විරූ සිනාවකි.

‘අද ඔබ කවදාවත් නැති තරම් සතුටකින් සිටින්නේ ඇයි?’ ඇගේ ගෙදර අය විමසූහ.

‘අද මල් උයනේදී මට දෙවියන් මුණගැසුණා! හරි ම පුදුමයි. දෙවියෝ මං හිතුවාට වඩා ළාබාලයි’ ඇය ගෙදර ඇත්තන් පුදුමයට පත් කරමින් කීවා ය.

කෑගල්ලේ ටී.ජී. ජයසුන්දර මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks

More News »