ගිරා පැටව්

2016-07-28 11:32:00       543
feature-top
මිතුරෝ දෙදෙනෙක් කාරයෙන් ගමනක් යමින් සිටිය හ.

සුළ‍ඟේ ගසාගෙන ආ මොකක් දෝ එකක් ඉදිරි වීදුරුවේ වැදී ඉන් කොටසක් සුදු පැහැ දියරයකින් වැසී ගියේ ය.

ගමන බාල කොට ඒ කෙරෙහි විමසිලිමත් වූ ඔවුනට සිදු වී ඇති දේ තේරුම් ගත හැකි විය.

එය කිසිවකු විසින් විසි කරන ලද හිස් කිරි පැකට්ටුවකි.

ඉදිරියෙන් යමින් තිබුණේ ත්‍රිරෝද රියකි.

‘බලමු කවුද මේ වැඩේ කෙරුවෙ කියල’

ඔවුහු ත්‍රිරෝද රිය ලුහු බැන්දහ.

ත්‍රිරෝද රියට ළං වන විට ම එය පෙර පාසලක් ඉදිරිපිට නැවැත්වී ය.

දඩි බිඩියේ ඉන් බැස්සේ හොඳට ම තරුණ අම්මලා දෙන්නෙකි. තමන් අත වූ හිස් කිරි පැකට් දෙකක් ඔවුහු බිම දැමූ හ.

සිඟිත්තෝ දෙදෙනෙක් ද රියෙන් බට හ. අම්මලා ඔවුන් ඇද ගෙන පෙර පාසල වෙත ගිය හ.

කාරයේ වැදී තිබුණේ මේ හතර දෙනාගෙන් කෙනකු බී විසි කළ කිරි පැකට් එකකි.

‘ඉතින් කාටද කියන්නෙ?’

‘කතා කරල වැඩක් නෑ. යං!’

ඔවුහු ගියහ. අතරමඟදී වීදුරුව සෝදා ගත්හ.

මේ දෙදෙනා ම පසු දවසක දුම්රියෙන් සිරිපාදේ බලා යමින් සිටිය හ.

ඔවුන් ට ඉදිරි අසුනෙහි හිඳ සිටියේ අර වැනි ම අම්මෙක් සහ අර වැනි ම පුතෙකි.

මව ද සිය අත් බෑගයෙන් අර වැනි ම දියර කිරි පැකට්ටුවක් ගෙන පුතුට දුන්නා ය. එය එක හුස්මට හිස් කළ දරුවා හිස් පැකට්ටුව ජනේලයෙන් එළියට විසි කරන්නට හදන විට ම මව ‘එපා!’ යි වැළකුවා ය.

‘විසි කරන්න එපා! කෝ දෙන්න!’ ඇය හිස් පැකට්ටුව ඉල්ලා ගෙන සිය බෑගයේ ම ලා ගත්තා ය.

මිතු‍රෝ දෙදෙනා එදා සිද්ධියත්, මෙදා සිද්ධියත් සන්සන්දනය කළ හ.

‘මතක් වෙන්නෙ අර ගිරව් දෙන්න දෙතැනකට වැටිච්ච කතාව, මේ ළමය නං වැටිල තියෙන්නෙ හොඳ ගිරව වැටිච්ච තැනට’ මිතුරෙක් අනෙකාගේ කනට කර කීවේ ය.

‘ඔව්. ඔව්. අර ගිරව් නං වැටිල තියෙන්නෙ වැරදි තැනට’

Wmqgd .ekSu wo forK fjí wvúh

More News »