වැටුපක සතුට

2016-07-26 11:39:00       724
feature-top
ඒ වන විටත් මට ලැබෙමින් තිබුණේ පරණ විශ්‍රාම වැටුප පමණි. පසු සංශෝධනයකින් වැඩි වූ මුදල ඊට එක් ව නොතිබිණි.

වරද හරි ගස්සා දෙන ලෙස ඉල්ලීමට මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අදාළ අංශයට ගියෙමි.

මගේ ලිපි ගොනුව අතුරුදහන්ව ඇති බව හැඟුණේ මෙවිට ය.

මා ළඟ ඇති ලිපිවල ඡායා පිටපත් ගෙනැවිත් දුන්නොත් වැඩේ කළ හැකි බව නිලධාරීහු කී හ. එහෙයින් මම ආපසු ගෙදර ගොස් අදාළ ලියකියවිලිවල පිටපත් ගෙන ඒවා කාර්යාලයට බාර දුනිමි. ‍

පරණ පඩිය ම ආ නිසා දිනක් මම නැවතත් කාර්යාලයට ගියෙමි. මා බාර දුන් ඒ පිටපත් ද අතුරුදහන් ව තිබිණ.

මම දෙවැනි වතාවට ද පිටපත් බාර දුනිමි.

ඒත් ආවේ පරණ වැටුපම ය.

මම යළිත් වතාවක් එහි ගියෙමි.

ඒ පිටපත් ද අතුරුදහන් ව ගොසිනි.

තුන් වැනි වතාවට ද පිටපත් තොගය බාර දුන් මම මේ වැඩේ තේරුම කුමක් දැයි ඇසීමට ප්‍රාදේශීය ලේකම්වරයා හමුවීමට ගියෙමි.

මා කාර්යාලයට ඇතුළු වූ පසු දුටුවේ ලේකම්වරයකු නොවේ. ලේකම්වරියකි.

මොකක් ද කෙරෙන්න ඕනැ ඇය ඇසුවා ය.

මම පීඩාව පිට කරන්නට පටන් ගතිමි. ඇය සවන් දීගෙන සිටියා ය.

සිදු වී ඇති අසාධාරණය ඇයට වැටහිණ.

වහාම අදාළ නිලධාරීන් කැඳ වූ ඇය කෙටි හදිසි පිරික්සුමක් කළා ය.

මෙයාගෙ හිඟ මුදල අද ම චෙක් එකකින් දෙන්න! ඇය නියෝග කළා ය.

අද ම නැතුවට කමක් නෑ මැඩම්. මගෙ ඊළඟ පඩියට එකතු කළා ම ඇති මම කීමි.

එහෙමද? හොඳයි එහෙනම් ඒ විදිහට කරන්න.

නිලධාරීහු විසිර ගිය හ.

මම රටක් වටිනා මේ නිලධාරිනියට තුති පුදා හිතේ සැහැල්ලුවෙන් ආපසු ආවෙමි.

ප්‍රාදේශීය ලේකම් තනතුරට ආභරණයක් වූ චාන්දනී ගුණතිලක මහත්මියනි, ඔබට යහපත සැලසේවා!

කඩවත, ගෝනහේනේ ලයනල් වැලිවිට මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »