හීන දැකීම

2016-07-25 11:29:00       727
feature-top
මං නං ජීවිතේ අවසාන කාලෙ පැත්තකට වෙලා බණක් භාවනාවක් කරගෙන සැනසිල්ලෙ ඉන්නව.

මා පැටි වියේ සිටිය දී යස ඉලන්දාරියකු ව සිටි බින්දු මාමා ගමේ වියපත් උන්දලා සංසාරේ ඇලෙන කටයුතුවල යෙදී සිටිනු දකිද්දී නිතර - නිතර එසේ කීමට පුරුදුව සිටියේ ය.

හැමදා ම දුක් විඳි බින්දු මාමාට එබඳු සිහිනයක් තිබීම පුදුමයක් ‍නොවේ. ඉගෙනීම නතර කළ ඔහු මාපිය බරට උර දෙනු පිණිස සුළු රැකියාවක් සොයා ගත්තේ ය. එසේ කරමින් බාහිර උපාධියක් ද ලබා ගත්තේ ය. ගෙදරට යුතුකම් ඉටු කිරීම වෙනුවෙන් ම ඔහු කල දවස ද ගෙවී ගියේ ය. ඒ අතර නැඟණිය හිතුවක්කාර ලෙස විවාහ වී බැහැර ගියා ය. ඉක්බිති බාල සහෝදරයා ද විවාහයක් කරගෙන පවුලෙන් ඈත් විය. මහලු මා පියන් රැක බලාගෙන ගෙදරට වී සිටි බින්දු මාමා මාපියන් ගේ වියොවින් පසු මහ ගෙදර තනි විය.

වැඩිහිටි ඥාතීන් සරණ බන්ධනයක් කරගෙන ජීවිතේ පිළිවෙළක් කර ගන්නා තැනට බින්දු මාමා පොලඹවා ගත්තේ මේ අතර ය. එහෙත් හදිසි අනතුරකින් සැමියා මිය ගොස් දිවි මඟ අතරමං වූ නැඟණිය දරුවන් දෙදෙනා ද රැගෙන මහගෙදර ආවෙන් සරණ බන්ධනයක් කෙරෙහි බින්දු මාමාගේ හිතේ පිළිසිඳි ආශාව වියැකී ගියේ ය. එතැන් පටන් අහිංසක දරු දෙදෙනාට අලුත් පියකු වූ බින්දු මාමා නැඟණියට පියාණන් කෙනෙක් වූයේ ය.

වැඩි කලක් ගත වන්නට පෙර ම නැඟණිය පෙම් සබඳතාවක් ගොඩ නඟා ගත්තා ය. මින් කෝපයට පත් බින්දු මාමා ජීවිතයේ පළමු වතාවට සිය නැඟණියට පහර දුන්නේ ය. එහෙත් බෝසත් සිතැති ඔහු ගේ ළය වහා උණු වුණේ ය.

නංගියෙ මට සමාවෙයං! මට මාව පාලනය කරගන්ඩ බැරුව ගියා!

අයිය මාව මැරුවත් මං තරහ නෑ අයියෙ

අනතුරුව දෙදෙනා ම හඬන්නට වන්හ.

ඉනික්බිති ජීවිතය යළි සාමාන්‍ය අතට හැරෙද්දී නැඟණිය තම රහසිගත සම්බන්ධය දිගින් දිගට ම පවත්වන බව ඔහුට හැඟිණ. ඔහු ගේ සිත උපේක්ෂාවෙන් බර විය. තරුණ ගැහැනියකට දිව මඟ හුදෙකලාව ගමන් කිරීම පඅහසු බව ඔහුට වැටහිණ. කතාව අවසානයේ සිදුවූයේ දරුවන් මහ‍ ගෙදර නැවතීමත්, ඇය සිය ගමන යෑමත් ය.

දරුවෝ ලොකු මාමා ළඟ හැදෙති. මව ද විටින් විට පැමිණ හඬා දොඩා ඔවුන් සිප සනසා යයි.

මැදි විය ද ඉක්මවා සිටින බින්දු මාමා ගේ අද ජීවිතය ගෙවෙන්නේ කෙමෙන් ලොකු මහත් වන අර දරුවන් දෙදෙනා වෙනුවෙනි. ඔහු තමන් සතු ඉඩමේ ව්‍යාපාරික ගොවිතැනක් කර අමතර ආදායමක් ද උපයයි.

ළඟ දී මා අපේ අම්මා බැලීමට ගොස් අම්මා උයා දුන් අහර වේල රස විඳිමින් සිටිය දී බින්දු මාමා අපේ ගෙවත්තට පැමිණ අම්මා අමතනු මට ඇසිණ.

ලොක්කක්කේ, මං ටවුමට යනව. අපේ ගේ දිහෑ පොඩ්ඩක් බලාපං!

අම්මා ද මිදුලට බැස්සා ය.

හොඳයි මං බලන්නංකො, උඹ ගිහිං වරෙං, කෙලී ආවම මෙහෙං කන්ඩ බැරියැ

නෑ නෑ මං උයල තියෙන්නෙ. ඒ ගොල්ලො බෙදාගෙන කයි

ටිකකින් අම්මා මා අසලට ආවේ අනේ රටක් වටින මනුස්සයා යි කියමිනි.

අම්මෙ ඉස්සර අර හැමතිස්සෙ ම කියන්න වගේ දැන් ඉතින් එයාට බණක් භාවනාවක් කරගෙන සැනසිල්ලෙ ඉන්ඩ පුළුවන්නෙ මට කියැවිණ. ඒ සමඟ ම ඒ කටකැඩිච්ච වචනය ගැන මා තුළ ම නොරුස්නා හැඟුමක් ඇති විය.

එහෙම කියන්ඩ එපා පුතේ. ඔය මනුස්සය සංසාරෙ පින් පුරෝගන්න කෙනෙක්. මෙදා සැරෙත් කට්ටියක් වන්දනාවෙ අරං ගියා.

මට මේ කතාව සිහිපත් වූයේ නෙළුම්විලට තවත් කතාවක් ලියා එවන්නට පෑන අතට ගත් මොහොතේ ය.

ඒ කතාව මෙසේ ය.

දිනක් මගේ කිට්ටු මිතුරෙක් ඔහු ගේ රාජකාරි ස්ථානයේ මිතුරකු ගේ ගෙදර ගියේ ඔහු ගේ දරුවකු ගේ උත්සවයක් වෙනුවෙන් ගෙදර තීන්ත ගා දෙනු පිණිස ය. කාර්යාලයේ තවත් මිතුරෝ කිහිප දෙනෙක් ද එහි පැමිණ සිටිය හ.

එදින රාත්‍රියේ මිතුරු සාද්දයක් පැවැත්විණි. පිරිස මදු විතෙන් ද මත් වූහ.

දරු මල්ලන්ගෙ යුතුකම් ඔක්කොම කෙරුවට පස්සෙ මං නිවී සැනහිල්ලෙ හොඳ චිත්‍රපටි ටිකක් ගෙනල්ල දෙයියනේ කියල බලල රස විඳිනව. ඒක තමයි මගෙ ජීවිතේ අවසාන හීනෙ ගෙහිමි මිතුරා කියා සිටියේ ලොකු උජාරුවකිනි.

ඒක ඔයාට කරන්න ලැබෙන්නෙ නෑ. ඒක හීනයක් ම විතරයි! මමිතුරා හරස් කැපුවේ ය.

මොනව? උඹ කොහොමද එහෙම කියන්නෙ? ගෙහිමි මිතුරා ප්‍රශ්න කළේ ය.

උඹ හිතන්නෙ ජීවිතේ පැන නගින හැම ප්‍ර‍ශ්නෙට ම විසඳුම් හොයල ජීවිතේ අගදි හොඳ චිත්‍රපටි ටිකක් බලල සැනසිල්ලෙන් කාලෙ ගෙවන්ඩ පුළුවන් කියලනෙ. එහෙම වෙන්නෙ නෑ. කරදර කියන දේවල් හැමදා ම එනව. ඒ නිසා ජීවිතේ අගදි කරදර වැඩි වෙනව. ඒ හින්ද හොඳ ම දේ තමයි ජීවිතේ අගට හීන ඉතුරු කර ගන්නෙ නැතුව ජීවිත කාලෙ පුළුපුළුවන් විදිහට හීන හැබෑ කරගන්ඩ බලන එක. ඒ හින්ද අද හෙට ම හොඳ චිත්‍රපටියක් ගෙනැල්ල බලපං! ම මිතුරා සුපුරුදු දර්ශනවේදී රඟපෑම කළේ ය.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »