ගමනක සැනසුම

2016-07-22 01:04:00       725
feature-top
අධ්‍යාපන චාරිකාව නිම කර ආපසු යමින් සිටි බස් දෙක වරකාපොළ පැත්තේ ආපන ශාලාවක් ළඟ නැවැත්වීය.

බස් දෙකේ සිසු සිසුවියෝ සියයක් පමණ ද ගුරුවරු ද වූහ.

වහා බසයකින් බට මේරූ සිසුවෝ දෙදෙනෙක් ආපන ශාලාවට ගොඩවී එහි හිමිකරුවාට මෙසේ කීහ.

මාමෙ, අපේ ඉස්කෝලෙ ළමයින් තේ බොන්නත් ඕනැ, ටොයිලට් යන්නත් ඕනැ

වහාම පිළිතුරු ලැබිණ.

ටොයිලට් නෑ

සිසුවෝ දෙදෙන මොහොතක් මුහුණට මුහුණ බලාගෙන සිට ආපසු හැරුණහ.

වැසිකිළි පුරවලා තේ පීරිසියක් බීල යයි!

එබස සිසුන් දෙදෙනාගෙන් කෙනකුගේ කනේ ඇනිණ.

සර් ඒකෙ ටොයිලට් නැහැල්ලු! සිසුවෝ බසයේ සිටි ගුරුවරුනට කීහ.

එහෙම නං වෙන එකකට යං!

බස් දෙක තරමක් ඉදිරියට ගොස් වෙනත් ආපන ශාලාවක් ඉදිරියේ නැවැත්වීය.

පෙර සිසුවෝ දෙදෙනම ඒ ආපන ශාලාවේ හිමිකරු කරා ගොස් පෙර ඉල්ලීම කළහ.

ලද ප්‍රතිචාරය විස්මය දනවනසුලුය.

ආ එන්න එන්න මාතියා! ටොයිලට් තීනවා! තේ තීනවා!

සිසුන් දෙදෙනා ගුරුවරුන් වෙත දිව ගියේ ප්‍රීතියෙන් ඉපිලෙමිනි.

හරි සර්. ඒකට එන්ඩලු!

එතෙක් වේලා සිය ශාරීරික අවශ්‍යතා වැරෙන් පාලනය කර ගෙන සිටි සිසු දරු දැරියන්ගේ මුහුණු එළිය වැටුණේ බලා සිටියදීමය.

හරි දැන් ඔය ළමයි පරිස්සමට බැහැල ඉස්සෙල්ල ටොයිලට් ගිහින් ඊළඟට තේ බොන්න!

නියෝගයත් සමඟම දරු දැරියෝ බස් දෙකෙන් බැස ආපන ශාලාව කරා ගියහ.

තිබූ එකම වැසිකිළියෙන් ලහි ලහියේ සිය අවශ්‍යතා ඉටු කර ගත් ළමා පිරිස ආපන ශාලාවට වැදී එය ද හිස් කළහ.

සිසු දරු දැරියන් ලද සැනසිල්ල ගුරු භවතුනට ද ඉස්පාසුවක් වූයේය.

හොඳ වෙළෙඳාමක් කරගත් ආපන ශාලා හිමියා ඇතුළු සේවකයෝ ද පිරිස දෙස මහත් තෘප්තියෙන් බලා සිටියහ.

හරි දැන් ඔය ළමයි පිළිවෙළකට තම තමන්ගෙ බස්වලට නැඟල තම තමන් හිටිය තැන්වලට යන්ඩ!

ළමයි කීකරු වූහ.

එහෙනං මුදලාලි අපි ගිහින් එන්නං

හොඳයි මාතියා, ආයි ලබන අවුරුද්දෙත් එන්න!

බටපොළ, සාම විනිසුරු ප්‍රේමදාස මානවඩු මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »