වැරදුණු පියා

2016-07-20 11:55:00       723
feature-top
මගේ මිතුරෙක් රෝහල්ගතව සිටියේ ය. ඔහු බැලීම සඳහා මම දින කිහිපයක් ම එහි ගියෙමි.

නගරයේ කඩදොරක සිඟමන් යදිමින් සිටි වැඩිහිටියකු මගේ නෙත ගැටුණේ මෙවිට ය.

වයස අවුරුදු හැටක පමණ පෙනුමින් යුතු හෙතෙමේ දිගින් දිගට සිය යාදින්න කියවමින් සිටියේ ය.

... අනේ පින්වත් නෝන - මහත්තේලා, අසරණ මට කීයක් හරි දෙන්ඩ! මං අද මෙහෙම හිඟා කෑවට ඉස්සර මේසන් වැඩ කරල හොඳට ජීවත් වෙච්ච කෙනෙක්. දැන් අසනීප හින්ද වැඩක් කරන්ඩ බෑ. මගෙ නෝනත් පිළිකාවක් හැදිල දැන් මහරගම‍ බෙහෙත් ගන්නවා. එයාව බලාගන්නෙත් මම. මං පිරිමි දරුවො හතර දෙනෙකුගෙ තාත්ත කෙනෙක්. උන් ලොකු මහත් වුණාට පස්සෙ අපට සලකන්නෙ නෑ. අනේ මට අනුකම්පා කරන්ඩ!....

ඔහු ගේ දුක්ගැනවිල්ල දිගින් දිගට ම ඇදී ගියේ ය.

‍බොහෝ දෙනෙක් ඔහුට මුදල් දුන්හ.

මම ඔහු ගේ මුහුණ දෙස හොඳින් බලාගෙන සිටියෙමි. එහි පුරුදු ගතියක් මට පෙනිණ. වියපත් ගතියක් පෙනුණ ද ඒ ඔහුම ය.

මම ඔහුට කිට්ටු වීමි.

අනේ මහත්තයො මට කීයක් හරි දෙන්ඩ!

මේ සිරිල් අයිය නේද? මාව මතක ද?

මබසින් ඔහු ගේ මුහුණ වහා වෙනස් විය.

මං සිරිල් නෙමේ. මහත්තයට වැරදිලා! ඔහු අහක බලා ගත්තේ ය.

නැ. නැ. සිරිල් අයිය ම තමයි

මහත්තය යන තැනක යන්ඩ පව් නොදී ඔහු පහත් හඬින් මට තර්ජනය කළේ ය.

ඔහු තැත් කරන්නේ මා එළවා දැමීමට ය. මේ නම් සිරිල් ම බව මට හොඳින් ම විශ්වාස ය.

ඔහු කලෙකට පෙර ජීවත් වූයේ අප නිවෙස අසල ගෙදරක ඇනක්සියක ය.

ඔයා සිරිල් අයිය ම තමයි! ඇයි මෙච්චර බොරු කියන්නෙ? මම තරයේ කියා සිටියෙමි.

එවර ඔහු මට ළංව මෙසේ රහසින් මිමිණුවේ ය.

... මහත්තයො කෑ ගහන්ඩ එපා! මං සිරිල් තමයි! මට දැං සනීප නෑ! මෙහෙමවත් කීයක් හරි හොයාගන්ඩ තමයි මට දැං වෙලා තියෙන්නෙ. ඒ හින්ද පින් සිද්ධවෙයි කෑගහන්ඩ එපා!

මම මඳක් ඈතට ගියෙමි.

ඔහු සිය යාදින්න යළිත් ඇරඹුවේ ය.

මිනිස්සු යන එන ගමන් ඔහු දෙස බලා කීයක් හෝ දී ගියහ.

සිරිල් මා දෙස නොබලන්නට පරිස්සම් විය. මම විටින් විට ඔහු දෙස විමසිල්ලෙන් බලමින් ඔහුට සිදු වී ඇති වින්නැහිය ගැන හිතන්නට වීමි.

කොහේදෝ සිට අප ගමට ආ සිරිල් අයියලා අපේ ම නැන්දා කෙනකු ගේ ඇනෙක්සියක් කුලියට ගෙන තිබිණ. ඔහුත් බිරියත් දරුවෝ හතර දෙනාත් එහි විසූ හ.

මට මතක හැටියට වැඩිමහලු දරුවාට වයස අවුරුදු දහ හරක් පමණ විය. ඇනෙක්සියෙන් නිතර ම පාහේ ඇසුණේ රණ්ඩු - සරුවල් ය. සිරිල් අයියාගේ බීමත් බැණුම් හා කෑගැසුම් හඬත් වළං පිඟන් බි‍ඳෙන හඬත් ඇසිණ.

දරුවෝ ද නිසි ලෙස පාසල් නොගියෝ ය.

මේසන් බාස් කෙනකු ලෙස ඉපැයූ ඔහුගේ මුදලින් වැඩි හරිය වැය වුණේ බීමට බව ප්‍රකට ය. මේ නිසා ගෙදර ආර්ථික ප්‍රශ්න බොහෝ විය. මැහුම් වැඩපළක රැකියාව කළ ඔහු ගේ බිරිය නිවාඩු දිනවල අසල නිවෙස්හි වැඩ පළ කර දී අමතර කීයක් හෝ උපයා ගත්තා ය.

තමන් ඉපැයූ මුදල වැය වූ පසු බීමට මුදල් ඉල්ලා සිය බිරියට පහර දීමට සිරිල් පුරුදුව සිටියේ ය. එවිට ඔහු දරුවන්ට ද පහර දුන්නේ ය. බියපත් දරු‍වෝ ඇතැම් විට අසල නිවෙස්වල සැඟවී ගත්හ.

සිරිල් අයියා තම බිරිය හෝ දරුවන් කෙරෙහි කිසිදු තැකීමක් නොකළ බව මම දනිමි. ඔහුට ඔවුන්ගේ ආදරයක් ගෞරවයක් තිබිය නොහැකි ය. ඔහු ඇනෙක්සියේ කුලිය ද හරියකට ගෙව්වේ නැත. අයිතිකාර නැන්දා කරුණාවන්ත කෙනකු වීම ඔවුන්ගේ වාසියට හිටියේ ය.

අර යකා නං ඩෝප්කාරය තමයි, ඒ වුණාට ඔය ගෑනු අම්මණ්ඩි දරුවො හතර දෙනාත් එක් විඳින දුක දැක දැක මං කොහොමද දෙයියනේ උන්ට ඕකෙං පලයල්ල කියන්නෙ? නැන්දා පාඩුව දරා ගත්තේ එසේ කියමිනි.

අසල්වාසීන් කිහිප දෙනකු විටින් විට සිරිල් අයියාට අවවාද අනුශාසනා කරන්නට තැත් කළ ද සිරිල් අයියා ඔවුන්ට බැණ වැදුණු හැටි ද මට සිහිපත් වේ.

අඬ දබර මැද ම ඔවුන් ගේ කල දවස ගෙවී ගියේ ය.

බැරිම තැන ඔහු ගේ බිරිය තීන්දුවක් ගත්තා ය. ලොකු පුතුන් දෙදෙනා සිය මව ළඟ ද පොඩි දෙදෙනා සිය සොහොයුරිය ළඟ ද තැබූ ඇය රට රැකියාවකට ගියා ය.

වගකීම්වලින් නිදහස් වූ සිරිල් ඉන්පසු ජීවත් වූයේ මිටින් මුදා හළ කුරුල්ලකු සේ ය.

රට සල්ලි ආවම ගෙවල්කුලී ඔක්කොම දෙනවා. මාත් ඉක්මනට ගෙයක් හදනවා! සිරිල් එසේ පුරසාරම් දොඩමින් දිගින් දිගට ම බීවේ ය.

එහෙත් සිරිල් අයියාට වැරදුණේ ය.

බිරිය ඔහුට මුදල් එව්වේ නැත.

කෝපයට පත් සිරිල් බීමතින් ගොස් බිරිය ගේ මවට ද සොහොයුරියට ද තර්ජනය කළේ ය. ඔවුන් නීතියේ පිළිසරණ පැතූ හෙයින් සිරිල් පසෙකට වූයේ ය.

තවදුරටත් කුලී ඇනෙක්සියේ හුදෙකලාව විසීමට නොහැකි වූ සිරිල් ඉන් පිට වී ගියේ ය.

ඉන් පසු ඔහු ගැන ආරංචියක් නොවී ය.

යළි සුළඟක් සේ සිරිල් ගැන අපූරු ආරංචියක් ආවේ ය. එනම්, ඔහු තවත් කාන්තාවක හා වෙසෙන බවත් ඔහුගේ අතීත කැරැට්ටුව ආරංචි වූ ඇගේ ඥාතීන් ඔහුට පහර දී පලවා හළ බවත් ය.

මේ සියල්ල සිදු වී දැන් වසර අටක් දහයක් ගෙවී ගොසිනි.

සිරිල්ගේ බිරිය හෝ දරුවන් ගැන එදා මෙදාතුර කිසිදු ආරංචියක් නැත.

දැන් සිරිල් මහ මඟට වැටී සිඟා කයි.

ඇතැම් විට ඔහුගේ දරුවන් ලොකු මහත් වී රැකියා කරනවා විය හැකි ය. ඉදින් සිරිල් වැනි පියකුට ඔවුන් සලකාවිද? මෙබඳු පියකුට නොසලකා හැරීම ගැන ඒ දරුවන්ට දොස් පැවරිය හැකි ද? ඒ තබා නිසි ඉගැනුමක් හෝ සෙනෙහසක් නොමැතිව ලොකු මහත් වූ ඔවුන් සිරිල්ටත් වඩා අසරණ තත්ත්වයක සිටිනවා වන්නට ද බැරි නැත.

රාගම ජේ. ද සිල්වා මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »