සුදු මුදු පිය හද

2016-07-14 11:13:00       724
feature-top
පුහුණුවීම් කෙරෙමින් තිබූ වේදිකා නාට්‍යයේ මට අදාළ චරිතයේ රංග වස්ත්‍රයක් හැටියට බුෂ් කෝටයක් සොයා ගත යුතු විය. ඒ වෙනුවෙන් දිනකට වැඩි කාලයක් ද නොවී ය.

මම දහ අතේ කල්පනා කරමින් ඔබ මොබ ගියෙමි.

මේ කල්පනාවෙන් ම මම කැලණිය හරියේ දී නුවර පාරේ කහ ඉර මාරුවෙමින් සිටියෙමි. මා සමඟ කහ ඉර මාරු වෙමින් සිටි පැටි අයියා බුෂ් කෝටයක් හැඳ සිටියේ ය. ඔහු ගේ දරුවන් නහරකාරයන් වූ හෙයින් දෝ අප අතර එතරම් පයුරුපාසානයක් නොවී ය.

පත්තරේ මහත්තයා මොකද නිකං අහස පොළොව පැටලිලා වගේ ? ඔහු ඇසුවේ ය.

හරි වැඩේනෙ පැටි අයියෙ, මට මේ නාට්‍යයකට බුෂ් කෝට් එකක් හොයා ගන්ඩ ‍ෙවලානෙ.

හැබෑද? මොකක්ද දැං කරන්නෙ?

පැ‍ටි අයියගෙ බුෂ් කෝට් එකනං හොඳයි වගේ

ඔහු කහ ඉරේ ම මොහොතක් නතර වුණේ ය.

මහත්තය එහෙම හිතනවද?

ඔව්

ඔහු බුෂ් කෝටය දෙකොනින් උස්සා හිසෙන් පැන්නුවේ ය.

ආ මේක තියාගන්ඩ! වැඩේ කරගෙන පුළුවන් වුණොත් ආපහු දෙන්ඩ!

කහ ඉර පැන ගිය ඔහු මේස් බැනියම පිටින් ගේ පැත්තට ගියේ ය. බුෂ් කෝටය තුරුලු කර ගත් මට සැනසිල්ලක් දැනිණ. හයිරන්කාර දරුවන් සිටින, මතු පිටින් රළු ලෙස පෙනෙන මේ මිනිසා යට සැඟවී සිටින සොඳුරු මිනිසා තේරුම් ගන්නට මම උත්සාහ කළෙමි.

තොරණ හන්දියේ ඩයස් මහත්තයා සිය ගේට්ටුව ළඟ සිට මා කාර්යාලයට යනු බලා සිටියේ සිනාවක් පා ගෙනයි.

මම ඔහු ඉදිරියට ගියෙමි.

ඔහු කළු ලොකු රැවුල සිනාවෙන් තවත් පුළුල් විය.

ඩයස් මහත්තයො මගෙ නාට්‍යයක් තියනව. බලන්ඩ එන්ඩ? මම ඇරියුම් පතක් ඔහුට පිරිනැමීමි.

වෙලාව තමයි නැත්තෙ. පුතාලව හරි එවන්නංකො

නාට්‍යය වේදිකා ගත විය.

ඩයස් මහත්තයා සිය පුතුන් ද සමඟ රඟහල දොරකඩ රැඳී සිටිනු දැක මම ඔහු වෙත ගියෙමි.

මහත්තය හම්බවෙලා ම යන්නයි හිතුවෙ. අම්මප මහත්තයො දිග පික්චර් එකක් බැලුව වාගෙ. මගෙ ජීවිතේට මේ වගේ රහක් විඳල නෑ. ඔහු ගේ මුහුණ වඩ ව‍ඩාත් හැඩ විය.

එතැන් පටන් මා පාරේ යන විට ඔහු සිය ගේට්ටුව ළඟට දිව ඒමට පුරුදුව සිටියේ ය. ඔහු මිය යන තුරු ම මා හා නාට්‍ය කලාව ගැන දෙඩුවේ ය.

පන්සල හුරු වී සිටි මපියාට රඟහල නුහුරු තැනක් වී තිබිණ.

දිනක් මා වියපත් ම පියා ම‍ෙග් රඟපෑමක් පෙන්වනු පිණිස කැඳවාගෙන ගියේ බොහෝ අමාරුවෙනි.

ඒ නාට්‍යයේ මට රඟපෑමට තිබුණේ මහලු තානායම්කරුවකුගේ චරිතයයි. ඒ තබා ම‍ගේ අවාසනාවට මෙන් එදින මගේ චරිතයට අදාළ රංග වස්ත්‍රය ද නොලැබිණ. එහෙයින් රඟපෑමට සිදු වූයේ උඩකය නිරුවත්වය.

විවේක කාලයේ දී ම පියා‍ වේදිකාව පිටුපසට පැමිණ සිටින බව ආරංචි වී මම ඔහු ඉදිරියට ගියෙමි. ඔහු සිටියේ ඉවත බලාගෙන ය. චරිතයට අදාළව මගේ හැඩ රුව වෙනස් වී තිබුණ බැවින් ඔහුට මා හඳුනා ගැනීමට බැරි වීදෝ යන සැකය මා තුළ මතු විය.

මං යනව පුතේ කඳුළු සඟවා එසේ කී ඔහු ම දෙස නොබලා ම යන්නට ගියේ ය.

ගෙදර ගිය හැටියේ ම ම පියා වෙත ගියෙමි.

ඇයි තාත්ත කලින් ආවෙ? නාට්‍යය හරි නැද්ද?

සේරම හොඳයි පුතේ. ඇයි ඔයාගෙ චරිතෙට විතරක් ඇඳුමක් නැත්තෙ?

මම නිදහසට කරුණු කියන්නට වීමි.

මපියා අත ඔසවා මා වැළැක්වූයේ ය.

පුතාගෙ අතේ වරදක් නෑ. ඒත් ඒ ගොල්ලො ඒක දැනගන්ඩ ඕනැ

හොඳ චරිතයක් ගොඩනැඟීමට ගැළපෙන රංග වස්ත්‍රයක් ද අත්‍යවශ්‍ය බව ම පියා සහජයෙන් ම දැන සිටියා සේ ය.

රළු සේ පෙනුණ ද, ඇතැම් විට දුරස්වී සිටින සේ දැනුණ ද සැබැවින් ම පියවරු සුමුදු ය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »