ගුරු දේවතාවි

2016-07-04 11:11:00       728
feature-top
පරම්පරා තුනක සිසු දරු දැරියන්ගේ නෙත් පෑදු අප ගුරුතුමිය විශ්‍රාම යෑම වෙනුවෙන් ලොකු උත්සවයක් පැවැත්වීමට ගම්මු කතිකා කරන්නට වූහ.

එහෙත් ගුරුතුමිය ඊට විරුද්ධ වූවාය.

ගම්මුන් දිගින් දිගට ම ඉල්ලීම් කරද්දී ඇගේ මුවින් මෙබඳු වදනක් පිට විය.

හොඳයි එහෙනං අටපිරිකර දහයක් එක්ක සාංඝික දානයක් දෙමු!

ඒ අයුරින්ම පාසලේ දී සාංඝික දානය පැවැත්විණි.

ඒ පින්කමේ දී තෙප්පනාවේ ශ්‍රී සුමන පිරිවෙනේ අධිපති තිලකසිරි හිමිපාණන් පැවසූ වදන් පෙළක් අද ද අප හදවත්හි ලියැවී තිබේ.

අද මණ්ඩදෙණිය විදුහලේ හදවත විශ්‍රාම ගත්තා!

අවසානයේ ඇය අපගේ උණුසුම් කඳුළු දහරා අතරින් සමුගෙන ගෙදර ගියා ය. එසේ වුව ද පරම්පරා තුනකට අකුරු කරමින් නියෝජ්‍ය විදුහල්පති ලෙස ඇය කළ සේවාව අපේ හදවත්හි අද ද ලියැවී තිබේ.

මගේ සහෝදරයාත්, මාත් ඉගෙන ගත්තේ මේ කියන මණ්ඩදෙණියේ විදුහලිනි. රක්ෂිත වනාන්තරයක් පාමුල පිහිටි දුෂ්කරතාවලින් පිරුණු ඒ පාසලට යෑම හැර දුප්පත් අපට වෙන විකල්පයක් නොවීය.

මට නොහැකි වුවත් මා සොහොයුරා උපාධිධාරියෙක් වූයේය. දුප්පත් අපේ ජයග්‍රහණ පසුබිමේ සිටි අය අතර මණ්ඩදෙණිය විදුහලේ හදවත බඳුව සිට විශ්‍රාම ගිය ලීලා ඇලපාත ගුරුතුමිය ප්‍රමුඛ බව කිව යුතු ය.

අපේ පාසලට ආවේ ගම් ප්‍රදේශයේ දුප්පත්ම පවුල්වල දරුවන්ය. පාසලට යෑමට ඇති දුෂ්කරතා නිසාම එහි ආ ගුරුවරු මාරුවීම් හදාගෙන ආපසු ගියහ. එහෙත් ලීලා ගුරුතුමිය එසේ නොකළා පමණක් නොව පාසල වැසී යෑමට නොදී තම පෞද්ගලික මුදල් පවා එහි අවශ්‍යතා වෙනුවෙන් වැය කළා ය.

පාසල් සිසුනට පාවහන් ලා ගෙන එන්නැයි ඇය කිසිදා නියෝග නොකළා ය. පාවහන් ගැනීමට වත්කම් තිබුණේ නම් ඔවුන් මේ පාසලට නොඑන බව ඇය හොඳින්ම දැන සිටියා ය.

කසිප්පුවලට යට වූ ගම්මානයේ බොහෝ පියවරුන් එහි ගොදුරු බවට පත් ව සිටියෙන් දරුවෝ මහත් සේ පීඩාවට පත්ව සිටියහ. එබඳු අසරණ දරුවන් තමන්ගේ දුක කීවේ ඇයට ය.

පාසල් වැඩ කරන අතරවාරයේ ම දිළිඳු දරුවන්ගේ හිසට සෙවණ සලසන්නට ඇය ගත් වෙහෙස අපමණය. විවිධ ආයතනවල සහ දානපතියන්ගේ සහාය ලබා ගෙන දරු පවුල් කිහිපයකට නිවෙස් තනා දීමට ද තවත් අසරණ දරුවන් කිහිප දෙනකුට කැපකරු මාපියන්ගේ පිළිසරණ ලබා දීමට ද ඇය මුල් වූවා ය. කාට හෝ කියා අපට අවුරුද්දටම සෑහෙන්නට ලියන පොත් ලබා දුන් ඇය තෙමෙන වහල ඇති දරුවන්ගේ නිවෙස් සොයා ගොස් දානපතියන් මඟින් ටකරන් තහඩු ලබා දුන්නා ය.

රත්නපුරේ මහ ගංවතුරින් මේ පාසලේ දරුවන්ගේ ගෙවල් අටක් පොළොවට දිය විය. ඔවුනට ඉතිරිව තිබුණේ, ඇඳි වත පමණි. මින් මහත් සේ වේදනාවට පත් ලීලා ඇලපාත ගුරුතුමිය පාසලේ විදුහල්පති අජිත් බුලත්සිංහල මහතා සමඟ ගොස් දරුවන්ට පිහිට වන ලෙස අදාළ බලධාරියකුට කීවා ය. එහෙත් එවිට ඇයට ලැබුණේ බැණුම් ය. ඒ බැණුම් අසාගෙනම ඔවුහු හමුදා කඳවුරට ගියහ.

දුක්ගැනවිල්ලට කන් දුන් හමුදා බලධාරීහු පාසල් දරුවන් වෙනුවෙන් ඉදිරිපත් වීම ගැන ද පසසා කඩිනමින් පිළිසරණ වන බව ද කීහ.

ඉන් පසු පාසලට අඩුපාඩුවක්ව පැවැති කුඩා විද්‍යාගාරයක්, පුස්තකාලයක් දානපතියන් මාර්ගයෙන් තනවන ලදි. පාසල වැසී යෑම වළක්වනු පිණිස ඊට අනුබද්ධව පෙරපාසලක් ද තැනිණි.

ඉතින් ගුරුතුමියනි නීතියෙන් විශ්‍රාම ගිය ද පාසලින් විශ්‍රාම නොගිය ඔබට දීඝායු පතමු.

රත්නපුරේ, දොඩම්පෙ, කිරිවැලදෙණියේ පිලිප් කුමාර සේනාරත්න ආදි ශිෂ්‍යයා සමඟ අනුරාධා ප්‍රසාදි සේනාරත්න ආදි ශිෂ්‍යාව විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි. පාසල් දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පිහිට විය හැකි අයගේ ප්‍රයෝජනය පිණිස ලීලා ඇලපාත මහත්මියගේ 0712788650 දරන දුර ඇමතුම් අංකයත්, විදුහල්පති අජිත් බුලත්සිංහල මහතාගේ 0714490138 දරන දුර ඇමතුම් අංකයත් සටහන් කර තිබේ.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »