පොල්වත්ත

2016-07-01 10:19:00       727
feature-top
ඈත මලගල කන්ද මිහිදුම් පටලයකින් වැසී ගොසිනි.

ගේ ඉදිරිපිට පුරන් වෙල්යාය තණ පිටියක් මෙනි. මීදෙන්නුත්, එළදෙන්නුත් එහි නිදහසේ උලා කති. පැටවුන් උන්ගේ තන බුරුලුවල එල්ලෙමින් කිරි උරා බී පිටිය පුරා කෙළිදෙළෙන් දුව පනින්නේ පුංචි නගුට ඉහළ ඔසවමිනි.

විටින් විට තද වැසි ඇද හැලී යළි පායන්නේ අත්තම්මා පෙනේරයෙන් පිටි හලනවාක් මෙනි.

මගේ කල්පනා දැහැන බිඳ වැටුණේ බිරිය ගේ ඇමතීමෙනි.

පොල් ඉවර වී ඇතැයි ඈ කියයි.

අවුරුදු පහකට පෙර මා වත්තේ සිට වූ ‍පොල් පැළ හතළිහෙන් විස්සක් පමණ පීදී ඇතත් පලදාව අඩු ය. පොල් වලු කඩා වැටීම ද කුරුමිණි හානිය ද පලදාවට හරස් විය. ඒ තබා ඉඩම ද වල්බිහිව තිබේ.

ඉතින් දැන් මා පොල් මිල දී ගන්නට යා යුතු ය.

මට පොල්ගෙඩි විස්සක් විතර ඕනැ මම අසල්වැසි පොල් ඉඩම් හිමියා හමුවේ කියා සිටියෙමි.

එකක් පනහක් වෙනව ‍ඔහු කීවේ ය.

අසල කඩයේ ද ලෙලි ගසන ලද පොල් ගෙඩියක් රුපියල් 50 කි. දැන් මොහුගේ ලෙලි නොගැසූ ගෙඩියක් ද ඒ ගාන ය.

කමක් නෑ යි මම හිත හදා ගතිමි. අසල්වැසියා අපනාප කර ගැනීම හොඳ නැත.

පොල් ටික ගෙදර ගෙන ආ විට බිරිය ගේ මුහුණේ එළියක් දිස් විය.

මීට පස්සෙ මං ක‍ාගෙන්වත් පොල් ගන්නෙ නෑ මම කීමි. බිරිය මබස තේරුම් ගන්නට මෙන් මදෙස බලා සිටියා ය.

හවස මම උදැල්ල ද ගෙන පොල් ඉඩමට ගියෙමි. කොනක සිට එළිකරන්නට වීමි.

ටිකකින් එළුවන් කිහිප දෙනා ද ලෙහාගෙන ගොස් එහි ගැට ගැසුවෙමි. උන් වල් පැළ ගිල දමන්නට වූයේ තණ කොළ කපන මැෂින් මෙනි. දින කිහිපයක් එක දිගට වැඩ කළ විට අක්කරයක පමණ පොල් ඉඩම එළි විය.

ඉන් පසු මා ගියේ ඉංගිරියේ ගොවි ජන සේවා කාර්යාලයට ය. එතැනින් මට උපදෙස් ලබා ගැනීමට හැකි විය. රසායනික පොහොර වෙනුවට විකල්පයක් සෙවීමට ද මම සිතුවෙමි. අසල කුකුළු ගොවිපළකින් කුකුළු පොහොර උර පනහක් රැගෙන එන ලද්දේ ඒ අනුව ය. පොහොර යෙදීම සඳහා කුලීකරුවකු සොයා ගැනීම ද දුෂ්කර වූ හෙයින් මම ම ඊට අතගැසුවෙමි.

දිනකට ගස් හතක් වටා කානු කපා පොහොර යෙදීමට මට හැකි විය. ඒ කටයුත්ත ද අවසන් වූ පසු ගස් වටා මඩලුණු කිලෝව බැගින් ද ඩොලමයිට් කිලෝව බැගින් ද යෙදුවෙමි.

සියල්ල එසේ අවසන් විය.

ගස්වල තිබුණු පැසුණු පොල් සියල්ල ද කෙක්කකින් කැඩුවෙමි. එතැන පොල් ගෙඩි තිස් ගණනක් තිබිණි.

අවුරුදු කෑමට ඒ සියල්ල ප්‍රමාණවත් විය.

සුදු කොළයක් ගත් මම එහි ලොකු අකුරින් මම මින් පසු කඩෙන් පොල් මිල දී නොගනිමි යි ලියා මාසිකව කඩන ගෙඩි ගණන සඳහන් කළ හැකි පරිදි සටහනක් ද ඇඳ එය බිත්තියක ඇල වීමි.

එතැන් පටන් මාස කිහිපයක් ගත වී ගියේ ය. මගේ පොල් ආදායම සරු වෙමින් තිබේ.

දැන් මට විකිණීමට ද පොල් තිබේ. පොල් මුදලාලි එදා මට වැඩි මිලට පොල් වික්ක එක කොච්චර හොඳ දැයි දැන් මට සිතේ.

හඳපාන්ගොඩ, ප්‍රදීප් සමරසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »