නගරය උණුසුම් ය. කලබලකාරී ය.

2016-06-22 11:37:00       728
feature-top
බෑගය ද දරාගෙන සෙනඟ අතරින් ඇදෙන වියපත් පියෙකි. ඔහු ගේ අ‍තේ බරට වඩා හිතේ බර වැඩි යැයි සිතේ.

මට ඉදිරියෙන් යන ඔහු අපේ සර් බව මට වැටහුණේ පසුව ය.

සර් මම ඔහු ඇමතීමි.

ඔහුට ඇසුණේ නැත.

සර්

ඔහු නැවතී හැරී බැලුවේ ය.

සර් මං පොඩ්ඩකට එහාට ගිහින් පන්තියට එන්නං

හොඳයි මිස්

මම ගියෙමි.

මා පන්තියට එන විට ඔහු දුරකථන ඇමතුමකට සම්බන්ධව සිටියේ ය.

ඇමතුම විසන්ධි කළ හේ පන්තිය ඉදිරියට පැමිණ අප දෙස බැලුවේ ය.

මං ඔයාලට ගිය සැරේ කියල දුන්න නේද විස්තරයක්

නෑ සර්

දුන්නෙ නෑ?

ගණ පිහිටවල සෙත ඉල්ලන කවියක් නම් ලියාගෙන එන්න කිව්ව

එහෙම ද?

ඔහු කොළ කිහිපයක් අතට ගත්තේ ය.

එහෙම නං මෙන්න මේ කොළ ටික ඡායා පිටපත් කරගෙන එන්නකො කවුරු හරි ගිහින්

මා මිතුරිය ඒවා අතට ගත්තා ය.

අන්න අර වංගුවට එහා තියන ඡායා පිටපත් ගහන තැනක්. එකකින් තුන ගාණෙ ගහං එන්නකො

මිතුරිය තවත් මිතුරියක හා පිටව ගොස් කාර්යය කරගෙන ආවා ය.

පිටපත් ටික සියතට ගත් ගුරුතුමා අප දෙස විමසිල්ලෙන් බැලුවේ ය.

අද මං මේ පන්තියට ආවෙ ඔයාල නිසාමයි. ඔක්කොම ටික කියල දෙන්න බැරි වුණොත් ඔයාල අනාථයි. සාස්තරේ නොදැන ඔයාල අතරමං වෙනව. ඒ ගැන දන්න කෙනෙක් විදිහට මට එහෙම කරන්න බෑ. ඔහු ගේ හඬ වෙනදට වඩා බැරෑරුම් විය.

ඇයි සර් එහෙම කියන්නෙ? මොකක්ද හේතුව? අපි විමසීමු.

මම හෙට ඉස්පිරිතාලෙ යනව. අනිත් පන්තිවලටත් නිවාඩු දුන්න

ඇයි සර් ඉස්පිරිතාලෙ යන්නෙ?

යන්නෙද? මගෙ පපුවෙ වෑල් තුනක් ම හීනි වෙලාලු. දිගට ම බේත් ගත්ත. දැන් බේත් අහන්නෙ නෑ. සැත්කමක් කරන්න වෙනව කියල ඩොක්ටර්ස්ල කියනව.

අපි මුව අයාගෙන සිටියෙමු.

ඉතින් අද විවේකයෙන් ඉන්න කිව්ව. හෙට රෝහලට ඇතුළු වෙන්න කිව්ව. අනින්දා ඔපරේෂන් එක!

ඇයි සර් ඉතින් අද ආවෙ? මට ඇසිණ.

ඔයාල හිතාගන්නකො ජීවිතය ගැන! ජීවත් වෙන්න මහන්සියෙන් උපයා - සපයා ගන්න දේත් ඕනැනේ. ඔක්කොම කරන්නෙ ජීවත් වෙන්නනේ...

මෙවිට ම ඔහුට දුරකථන ඇමතුමක් ආයේ ය.

හා.... ආ... ඔව්.. මං මේ මාතරට ආව. බඩු වගයක් ගන්න තියනව. ඔව් හා. හැන්දෑවට ගෙදර එන්න! එහෙනං බුදු සරණයි!

දුරකථනය සාක්කුවට දාන ගමන් හෙතෙම අප ඇමතුවේ ය.

ඔහොම නැතුව බෑ. මේ හෙට ඔපරේෂන් එකට ඉන්න මම කොහොමද පන්ති කරනව කියන්නෙ? ඒ මනුස්සය හිතයි මට තියෙන්නෙ පුදුම තණ්හාවක් කියල. ඇත්ත තත්වය මොකක්ද කියල කවුරුත් දන්නෙ නැහැනේ.

ඔහුගේ බැල්මේ දුක ඇතිරී තිබිණි.

හිටි හැටියේ අඳුරක් ආවේ ය.

වැස්සක් කඩා වැටිණ.

එහෙත් පාඩම කරන ඔහුගේ වතෙහි දාඩිය බිඳු නැගී තිබිණ. ඔහු ලේන්සුවෙන් ඒවා තෙත මාත්තු කර ගත්තේ ය.

හිටි හැටියේ ම ඔහුගේ අත පපුවට යයි. රිදුමක්, කැක්කුමක්, වේදනාවක් ඇති වනවා ඇත. එහෙත් ඔහු එය අමතක කර යළි පාඩමට බසියි.

මේ ගුරුතුමා ගේ නම මිස වෙන විස්තරයක් අපි නොදනිමු. වයස හැට හයක් පමණ වන බව කීවා නම් මතක ය.

දොස්තර මහත්තය මේ අපේ මල්ලිව හොඳට ම බය කරලනේ.! අයියගෙ ලෙඩේ ගැන ඔයිට වඩා සැලකිලිමත් වෙන්න කිව්වලු!

කවුද සර් ඔපරේෂන් එක කරන්නෙ?

ඉන්දියාවෙ දොස්තර කෙනෙක්. එයත් රට යන හින්ද තමයි මේ හදිස්සි කළේ. ලෙඩේ අපි ළඟ තිබුණට දොස්තර මහත්තුරු ළඟ තමයි ජීවිතේ තියෙන්නෙ.

ඔහු ගේ මුහුණ බැරෑරුම් පාටක් ගනී.

කෙසේ වුව ද පන්තිය පැයක් පමණ කැරුණේ ය.

අද පැයක් විතර කරල යන්නයි හිතාගෙන ඉන්නෙ. ඒත් මට ඕන ටික පැයකින් කියා ගන්න බැරිවුණා!

පන්තිය ම නිහඬව ඔහු දෙස බලා සිටින්නේ කතා කර ගත නොහැකිවය.

අපි ආයෙ හොඳවෙලා ආව ම තවත් අඩුපාඩු ඇත්නම් හොයල කරමු!

ඔහු බෑගය අතට ගෙන සමුගන්නට පෙර අප දෙස හොඳින් බැලුවේ ය.

අනේ අපේ සර්ට ඉක්මනට සනීප වෙන්න ඕනෑ අපි නිහඬව ප්‍රාර්ථනා කළෙමු.

ඔහු අපෙන් සමුගෙන පන්තියෙන් පිට ව ගියේ ය. බෑගය ද, එල්ලා ගෙන සෙනඟ අතරින් බස් නැවතුම කරා ඇදෙන ඒ රුව දෙස අපි නිහඬව බලා සිටියෙමු.

බද්දේගම රත්නා කහඳගමගේ මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »