පිය උතුමා

2016-06-20 10:02:00       723
feature-top
බදාදා උදෑසනක මම මිතුරියක සමඟ රාගම මහ රෝහලට ගියෙමි. ඇය ගියේ දතක් ගලවා ගැනීමට ය. මා ගියේ ඇගේ තනියට ය.

ඇය සායනයෙන් එන තුරු මම කොරිඩෝවේ හිඳ සිටියෙමි.

මට කිට්ටුව තරුණ මවක් හිඳ සිටියා ය. වසරක් පමණ වයසැති දරුවෙක් ඇගේ උකුලේ සිටියේ ය. එතැන සිටි තරුණයා ඇගේ සැමියා විය යුතු ය.

මව දරුවා ගේ සිඟිති අතට විස්කෝතුවක් දුන්නා ය. එය දරුවා අතින් බිම වැටිණ. වැටුණු විස්කෝතුව දෙස බැලූ මව හෙමින් ම එය පයින් අසුන යටට තල්ලු කළා ය.

ඒ දුටු සැමියා ගේ මුහුණ වෙනස් විය.

බිස්කට් එහෙම විසි කරන්න එපා! ඔහු කීවේ ය.

විස්කෝතුව අහුලා ගත් ඔහු එය ගෙන ගොස් ඈතක තිබූ කසල බඳුනට දමා ආපසු පැමිණ හිඳ ගත්තේ ය.

ටිකකින් මව දෙවැනි විස්කෝතුව ද දරුවා අතට දුන්නී ය.

එය ද අතින් ගිලිහී බිම වැටිණ.

එවර ද සැමියා එය අහුලා ගෙන ගොස් කසළ බඳුනට දමා ආවේ ය.

මව තෙවැනි විස්කෝතුව ද දරුවාට දුන් අතර අවාසනාවට එය ද පෙර සේ ම බිම වැටිණ.

එයා කන්නෙ නැත්නම් බොරුවට බිස්කට් දෙන්න එපා! සැමියා තරමක් තදින් කීවේ ය.

එවර මව ඒ විස්කෝතුව ඇහිඳ තුමූ ම ගොස් කසළ බඳුනෙහි දමා ආවා ය.

ඇය අසුනෙහි හිඳ වැඩි වෙලාවක් ගත වූයේ නැත. දරුවා ඇය උකුලෙහි සුළුදිය හැළුැවේ ය. සුළු දිය දහර චිරි චිරි හඬින් පොළොව මත ද වැටිණ.

ඒ දෙස බලා සිටි පියා පිටව ගොස් මොප් එකක් සොයා ගෙනැවිත් ටයිල් පොළොව පිස දමන්නට වූයේ ය. දරුවා ද ඒ දෙස විමසිල්ලෙන් බලා සිටියේ ය.

පියා මොප් කරන්නට වූයේ දරුවාට හුරතල් බස් කියමිනි.

ඇයි පුතේ බිමට වතුර දැම්මෙ? එහෙම කරන්න හොඳ නෑනෙ පැටියො

දරුවා ද හීනියට හිනාවක් පෑවේ ය.

මීට පස්සෙ එහෙම කරන්න එපා පැටියො

දරුවා ගේ හිනා පුළුල් විය. පියා ද ඔහු හා සිනාසුණේ ය.

පිස්නය පිටත තබා පැමිණි පියා දරුවා වඩා ගත්තේ ය. දරුවා ද ඔහු වැලඳ ගත්තේ නව පණක් ලද්දකු සේ ය.

මේ පියා කෙරෙහි මා තුළ මහත් ගෞරවයක් උපන්නේ ය.

පියකු යනු කෙතරම් ඉවසිලිමත් අවබෝධයෙන් යුතු, ආදරණීය අයකු ද යන්න ඔහු නිහඬව කියා දුන්නේ ය.

මෙබඳු පියවරුන් සදා වාසනාවන්!

ලිපිනයක් සඳහන් කර නැති දර්ශිකා වීරකෝන් නමැති මහත්මියක විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »