ගල් පහර

2016-06-16 11:17:00       723
feature-top
පුංචි සන්දියේ දකින - දකින සතුනට ගලකින් හෝ මුගුරකින් පහර දීමේ පුරුද්දක් මට තිබිණ.

වැඩිහිටියන් කෙතරම් එපා කීව ද ඒ පුරුද්ද එසේ ම පැවතිණ.

දිනක් මා ගැසූ ගල් පහර වැදී සුනඛයකු ගේ වම් ඇස තුවාල විය.

එයින් මම සසල වී ගියෙමි.

ඉන් පසු සතකු දුටු විට පහර දීමේ පරණ පුරුද්ද හිතට ආව ද මම එය මැඬ ගතිමි.

ඔයින් මෙයින් වසර විස්සක් විසි පහක් පමණ ගෙවී ගියේ ය.

මේ කියන දින මම වැඩ ඇරී පයින් ම ආපසු එමින් සිටියෙමි.

ගවයෙක් ගාලු පාර අයිනේ තණ බිස්සක් උලා කමින් සිටියේ ය.

කොලුවෙක් ඌට ගලකින් ගසන්නට කුරුමානමක් අල්ලමින් සිටියේ ය.

මට මගේ අතීතය සිහිපත් විය.

කොලුවා වළකන්නට මට බැරි විය.

ඌ ගල දමා ගැසුවේ ය.

ටොක්!

පුදුමයකි.

ගල වැදුණේ මගේ වම් ඇසේ ය. මම කැරකී විසිවී ඇස බදාගෙන දඟලන්නට වීමි.

කුඩා කල මා ගැසූ ගල් පහරින් සුනඛයාගේ වම් ඇස තුවාල වී ඌ හඬ තැළූ අයුරු මට එකෙණෙහි ම සිහිපත් විය.

මා ගලින් දමා ගැසුවේ ඌට බව සැබෑ ය. ඒත් ඇසට නොවේ. එහෙත් එය ඇසේ වැදිණ. තුවාල වූ ඇස දැක මම සසල ව ගියෙමි.

කොලුවා ගලින් ගැසුවේ ද මට නොවේ. හරකාට ය. ඒත් වැදුණේ මගේ වම් ඇසට ය.

චේතනාව කුමක් වුව ද සුනඛයාත් මාත් විඳි වේදනාව එක ය. ඌ ද වේදනාවෙන් දැඟලුවේ ය. මම ද වේදනාවෙන් දැඟලීමි.

තුවාලය සුව වූ පසු කලෙක මම ගුවන් විදුලියේ සජීව සාකච්ඡාවකට සවන් දෙමින් සිටියෙමි. එහි කර්මය සම්බන්ධ දේවල් කතා කැරෙමින් තිබිණ. මම ද දුරකථනය මඟින් මගේ අත්දැකීම කියා සිටියෙමි.

ඒ ඇසූ දේශකයන් ගේ අදහස වූයේ දිට්ටධම්ම වේදනීය කර්මයක් මේ ආත්මයේදී ම විපාක දිය හැකි බව ය.

මට සිදු වූ දේ එවැන්නක් විය හැකි ය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »