දෙවන මව

2016-06-14 11:03:00       724
feature-top
ඇය උසස් පෙළ පළමු වසරේ සිසුවියකව සිටියා ය. මම ඇගේ ගුරුවරියක් වීමි.

ඇය කම්මැළි දියණියක නොවූ නමුදු පාඩමට ඇහුම්කන් දෙන අතර නිදි කිරන්නට වූවා ය.

ළමයිනට කරන්නට අභ්‍යාසයක් පැවරූ මම ඇය මා ළඟට කැඳවා ගතිමි.

මොකද දරුවො නිදි කිරා වැටෙන්නෙ? මම ඇසීමි.

ඇය මැලවුණ වතට හිනා පොදක් එක්කර ගත්තා ය.

ඇයි කිරා වැටෙන්නෙ?මම හඬ හොඳටම බාල කර ඇසීමි.

නිදි මැරුව මිස්. ඒකයි ඇගේ වත තවත් මැලවිණ.

මා කෙරෙහි විශ්වාසය වැඩුණු විට ඇයට සඟවන්නට දෙයක් නොවීය. ඇය සියල්ල හෙළි කළා ය.

ඇගේ මව රට රැකියාවකට ගොසිනි. පියා ගෙදර එන්නේ මසකට වරකි. නංගිලා තිදෙනෙකු සමඟ කටු මැටි ගෙදර ඇය තනිවී සිටියා ය.

ගෙයි දොර සවිමත් නොවී ය. එය කාට වුව පහසුවෙන් ඇරගත හැකි ය. එහෙයින් ඇය රැය පහන් වනතුරු මන්නය අතැතිව දොර ළඟ මුර කළා ය‍.

ඒ මදිවාට ගෙදර ආර්ථිකය රැක ගන්නට කොළ කැඳ ව්‍යාපාරයක් ද කරගෙන ගියා ය.

ඇය ඉගෙනීමට දුර්වල සිසුවියක් නොවූවා ය. එහෙත් ජීවන ගැහැටත් සමඟ ඇය දුර්වල විය හැකි ය.

අ‍ෙන් ළමයො මොන ප්‍රශ්න තිබුණත් ඉගෙන ගන්න එකට නම් හානි කරගන්ඩ එපා! මම කීමි.

ඇය දිරිමත්ව සිනාසුණා ය.

ප්‍රශ්න ආ විට ඇය මට කීවා ය. ඒවාට මුහුණදිය යුතු ආකාරය මම ඇයට කියා දුනිමි. ඇගේ ආර්ථික අපහසුතාවලට ද හැකි ආකාරයෙන් පිහිට වීමි.

ඇය දිනක් පන්ති කාමරයට ආවේ හඬමිනි.

ඇයි ළමයො අඬන්නෙ?

අනේ මිස්, නංගි කොල්ලෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන. ඒ ගැන හොයල බලන්ඩ අම්ම තාත්තත් නෑ. නංගි ‍ඉස්කෝලෙ එන්ඩත් කම්මැළිියි. මට බයයි මිස්. මම මොකද කරන්නෙ?

ඇය තවදුරටත් හෙළි කළ හැටියට තරුණයා හොඳ කෙනෙකි. එහෙයින් අපි තරුණයාගේ දෙමාපියන් සමඟ කතා කොට පිළිවෙළක් ඇති කර ගතිමු. ඔවුහු විවාහ වී වත්තේ ම පොඩියට ගෙයක් හදා ගත්හ. කොළ කැඳ කඩය ද අලුත් ජෝඩුවට පැවරිණ.

ඇගේ මව මේ දරු පවුල ගැන තැකීමක් නොකරන බව පෙනෙන්නට තිබිණ. අ‍ැගේ පියා ද කොහේ හෝ පවුල් කන බව ආරංචි විය. මේ සියල්ල මැද ඇය ඉගෙන ගත්තා ය. උසස් පෙළ සමත් වී සාමාන්‍ය රැකියාවක් සොයා ගත්තා ය.

නංගිලා ලොකු වූහ. ඔවුහු ද රජයේ ගොවිපළක සුළු රැකියා සොයා ගත්හ. දෙවැනි නැගණිය ද විවාහ කර දුන් ඇය හිතුවක්කාර තෙවැනි නැඟණිය වෙනුවෙන් අවිවාහක වූවා ය.

දිරිමත් ඇය මේ සමාජයේ සැඟවුණ අම්මා කෙනෙකි. කඩා වැටෙන්නට ගිය පවුල රැක ගත්තේ ඇය ය. ඇය සැබෑ වීරවරියකි.

ඇගේ අම්මා රන් කහවණු සොයා රට නොගොස් තම දරුවන් බලා කියා ගෙන මෙහිම කිසියම් දෙයක් කළා නම් ඇගේ අනාගතය මීට වඩා යහපත් වීමට හොඳටම ඉඩ තිබිණි.

රැකියාවෙන් ඉසුඹු ලබා නිවෙසෙහි හුදෙකලාව වෙසෙන මට විටින් විට ඇය සිහිපත් වෙයි‍. ඇගේ වර්තමානය කෙසේ දැයි නොදනිමි. කෙසේ වුව ද ඇය ජීවිතයට දිරිමත්ව මුහුණ දෙන බව නම් මම දනිමි.

අනන්‍යතාව සඟවා සිටීමට කැමැති ගාල්ලේ ගුණවර්ධන නමැති මහත්මියක විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »