ලොකු සර්

2016-06-13 11:02:00       723
feature-top
හදිසි අනතුරකට මුහුණ පා මිය ගිය විදුහල්පතිතුමන් ගේ අවසන් කටයුතු මහා ජනකායකගේ සහභාගිත්වයෙන් සිදු වී දින කිහිපයක් ගත වී තිබිණි.

ඉදිරියට නියමිතව තිබුණේ හත් දවසේ දානයයි.

ඒ අතර දිනෙක යාබද ගෙදර මව සිය පුංචි පුතු ද කැටුව මිය ගිය විදුහල්පතිතුමන් ගේ බිරිය, ගුරු මව මුණගැසීමට ආවා ය.

දරුවා පහ වසරේ ඉගෙන ගන්නා අයෙකි.

මඳ කතාබහකින් පසු අසල්වැසි මව පිටව යන්නට සමුගත්තා ය.

එවිට පුංචි දරුවා ගුරු මවට දණ නවා වැන්දේ ය.

ඔහු නැගිටින විට ඔහුගේ මව ගෙයින් පිටතට ගොස් සිටියා ය.

නැඟිට ගත් දරුවා මව පසු පස නොගොස් මොහොතක් රැඳී ගුරු මව දෙස බලා සිටියා ය.

ඒ පුංචි මුහුණේ වූයේ ශෝකය මුසු කාල්පනික බවකි.

ඇයි පුතේ ඔහොම බලාගෙන ඉන්නෙ? ගුරු මව විමසුවා ය.

ගුරු මව ළඟට ආ දරුවා සියතෙහි ගුලි කොට ගෙන සිටි දෙයක් ඈ අතක තැබු‍ෙව් ය.

ඒ මාරු කාසි කිහිපයකි.

ඇයි පුතේ මේ?

දරුවා ඇඟිල්ලක් කටේ ගහගෙන ගුරු මව දෙස අර ශෝකී කාල්පනික හැඟීමෙන් ම යුතුව බලා සිටියේ ය.

ඕක ලොකු සර්ගෙ දානෙට ගන්න! දරුවා එසේ නොකීවේ ය. එහෙත් ඔහු නොකියා කීවේ ඒ දේ බව ගුරු මවට වැටහිණ.

ගුරු මව ගේ දෑස පෙඟිණ.

පුතත් කව්ද හරි ලොකු සර් වගේ වෙන්න!.‍ ගුරු මව දරුවා ගේ හිස පිරිමැද්දා ය.

දරුවා නිහඬවම සිය මව වෙත ගියේ ය.

අපි ඔහු ගුරු මවට දුන් කාසි කිහිපය ගණන් කර බැලීමු. එහි රුපියල් පහක වටිනාකමක් තිබිණ.

මිය ගිය ගුරු පියා නිතර - නිතර පොත්වල කුරුටු ගාන වැකිය මට සිහිපත් විය.

එන්න! අපි දරුවන් වෙනුවෙන් ජීවත් වෙමු!

ඔහුගේ දිවියේ තේමා පාඨය වූයේ එය ය.

අර පුංචි දරුවා එය කියවා නැත. එහෙත් ඔහු ගුරු පියා ගැන හොඳ අවබෝධයකින් පසු වී ඇති බව නොපෙනේ ද?

පණිරෙන්දාවේ, තඹගල්ලේ ආර්.ඩී. ධර්මරත්න මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »