වත මඬල

2016-06-08 11:58:00       724
feature-top
මගේ සමීපතම යෙහෙළියක ගේ දියණියගේ විවාහ මංගල උත්සවය සඳහා අපට ද ආරාධනාවක් ලැබිණ.

මා එය බාර ගත්තේ ඉතා සතුටිනි. ඇය මා යෙහෙළියගේ එකම දියණියයි. මා ඒ ලස්සන හුරුබුහුටි දැරිය දන්නේ කුඩා කාලයේ සිට ය.

ආරාධනා ලැබ තිබුණු තවත් යෙහෙළියන් පිරිසක් ද සමඟ අපි විවාහ මංගල උත්සව ශාලාවට ගියෙමු.

එහි කටයුතු හොඳින් සිදු වෙමින් තිබුණු බව බැලූ බැල්මට පෙනිණ. කාගේත් මෙන් මගේත් දෑස නොඉවසිලිමත් ව‍ූයේ මනමාලිය දකිනු පිණිස ය.

ඈ දුටු මොහොතේ මම ගල් ගැසී ගියෙමි. ඒ මා දන්නා හුරුබුහුටි තරුණියගේ සොඳුරු වත මඬල නොවේ. ඇගේ මුහුණෙහි වූයේ ආගන්තුක මුහුණකි. පාට තට්ටු පිට තට්ටු තවරා ඇගේ පෙනුම මුළුමනින් ම වෙනස් කර තිබිණි. කෘත්‍රිම ඇස් පිහාටු නිසා දෑසෙහි තිබූ ලස්සන ද වැසී ගොසිනි.

අනේ අර ලස්සනට තිබුණු මූණට මොකද වුණේ? මට එසේ සිතිණි. මගේ සෙසු යෙහෙළියන් ද මනමාලිය දෙස බලා සිටියේ පුදුමයෙනි. ඒ පුදුමයෙන් ම යුතුව අපි අපේ අසුන් වෙත ගියෙමු.

එයාගෙ මූණ කොච්චර ලස්සන මූණක්ද? මේ මේක් අප් එක දැම්මට වැඩිය ඒ මූණ නිකං තිබුණ නං කොච්චර හොඳද? යෙහෙළියෝ කීහ.

මංගල්‍යයේ වැඩ කටයුතු හොඳින් කැරිණ.

අවසානයේ අපි නව යුවළට සුබ පැතීමට ගියෙමු.

මනාලියගේ මුහුණේ වූ මේක් අප් තට්ටුව ඉරි තළා තැන තැන කැඩී ඇති අයුරු දුටු මසිත ඇති වූයේ ශෝකයකි. එහෙත් එය නොහඟවා අපි ඇයට සුබ පැතීමු.

මාස කිහිපයක් ගෙවී ගියේ ය.

පසුගිය දිනෙක වෙළෙඳ සලකදී මනාලියගේ මව, එනම් මගේ යෙහෙළිය මට හමුවුණි.

ආගිය තොරතුරු මඟුල් ගෙදර දක්වා දික් වී ගියේ ය.

කොහොමද දැන් දූට? මම ඇසීමි.

බලන්න අනේ ඔක්කොම වැඩ කටයුතු හොඳට කෙරුණා. ඒත් අර මේක් අප් එක තමයි සවුත්තුවකට හිටියෙ. ළමයින්ගෙ වුවමනාවට තමයි ඔය ප්‍රසිද්ධ රූපලාවණ්‍ය නෝන ළඟට ගියේ. ඒත් ඉතින් අන්තිමට වුණේ ඕක තමයි.

එක්තරා රූපලාවණ්‍ය ශිල්පිණියකගේ නමක් සඳහන් කරමින් ඇය දුක් වූවා ය. පොටෝවලට ලස්සනට හිටින්නයි එහෙම මේක් අප් දුන්නෙ කියල තමයි දාපු කෙනා කියල තියෙන්නෙ. ඒත් අනේ එහෙම ලස්සනක් වුණේ නෑ කියල ඔයත් දැක්කනේ. එයා කරල තිබුණෙ දුවව අපිටවත් අඳුර ගන්න බැරි විදිහට වෙනස් කරපු එක විතරයි.

ඇය සිය වේදනාව පිටකර ගත්තේ දිගින් දිගට ම කතා කරමින්.

ඔය පත්තරවලයි, ටී.වී වලයි තියන වෙළෙඳ දැන්වීම්වලට අපේ ළමයි රැවටෙනවා. අපිටත් ඉතින් ඕව ගැන වැඩි තේරුමක් නැති හින්ද ළමයින්ට ඕනෑ විදිහට කරගන්න ඉඩ දුන්නා. අපරාදෙ සල්ලි නාස්ති වුණ එක විතරයි වුණේ?

මේක් අප් එකට ගොඩක් සල්ලි අය කළා ද?

මුලින් ම 30,000 ක ඇඩ්වාන්ස් එකක් බඳින්න කිව්ව, ඊට පස්සෙ හැම මාසෙකම ෆේෂල් ක්ලීන් අප් කියලා මනමාලියි එයාගෙ යාළුවන්වයි සැලෝන් එකට ගෙන්නලා සත්කාර කළා. එක්කෙනෙකුට දෙදහා ගානෙ වගේ ගෙවන්නත් සිද්ධ වුණා! අප‍රාදෙ සල්ලියි, කාලෙයි!

ඒක ඇත්ත අනේ. ඔයාගෙ දූට තියෙන්නෙ කොච්චර ලස්සන මූණක් ද? අපිත් එදා කතා කළේ ඒ ගැන තමා මම ද කීමි.

ඇය සුසුම් හෙළුවා ය.

මේව තරුණ ළමයින්ට හොඳ පාඩම්! ඇගේ දෙතොල් අතරින් පිටවිණ.

ජා-ඇළ, වැලිගම්පිටියේ චම්පිකා සිරිතුංග මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »