කෑම වේල

2016-06-06 11:12:00       724
feature-top
එක්තරා සුදු මහත්මයකු සිය දඹුලු චාරිකාවට අදාළ ඡායාරූප ගැනීමට කැඳවාගෙන ගොස් තිබුණේ මගේ මිතුරෙකි.

පින්තූර ගැනීමේ කටයුතු නිමා වූ පසු පිරිස සැහැල්ලු සිතින් කොළඹ බලා එන්නට පිටත් වූහ.

රියෙහි කිහිප දෙනෙක් ම වූහ. ඒ අතර අර සුදු මහත්මයාගේ සුදු සගයෙක් ද විය.

ටිකින් ටික කුස ගිනි ද දැනිණ.

සුදු මහත්වරුන්ට ආහාර ගැනීමට සුදුසු හෝටලයක් ළඟ පාතක ඇද්දැයි පිරිස විපරම් කළහ.

නෑ. නෑ. මට අද කන්ඩ ඕනැ හොඳ සිංහල ආහාර වේලක්. සිංහල කෑම තියන තැනකට අපි යං සුදු මහත්තයා යෝජනා කළේය.

මේ වන විට රිය මිරිස්ගෝනියාව හන්දියට ළං වෙමින් තිබිණ.

මිරිස්ගෝනියාව හන්දියට කිට්ටුව හොඳ සිංහල කෑම තියන කඩයක් ති‍ෙයනව. මං එහෙනං මහත්තුරුන්ව එතෙන්ට එක්ක යන්ඩ ද? රියැදුරු ඇසුවේය.

යං යං එතෙන්ට යං කවුරුත් එකඟ වූහ.

ටිකකින් රිය එහි දොරකඩ නැවතිණ.

අපේ මේ සුදු මහත්තුරුන්ට හොඳ සිංහල කෑම වේලක් කන්ඩ ඕනෑ වෙලා තියනව. ඒකයි මෙහාට එක්කගෙන ආවෙ. දැන් ඉතින් එයාලට සලකන්ඩ! මා මිතුරා කඩයේ අයට කීවේය.

ඔවුහු ද සිනාසී සංග්‍රහය පටන් ගත්හ.

සැබවින්ම අහර ඉතා ප්‍රණීත විය. කළුපොල් මාළුව ද, කෙසෙල්මුව මාළුව ද කොහිල මාළුව ද රස නහර පිනෙව්වේ ය.

පිරිසේ බඩකට පිරිණ. මුහුණු එළිය වැටිණ.

බිල ආවේය. පැහැදිලි ඉලක්කමින් එහි රු. 1500 ලියැවී තිබිණ.

සිය පොකැට්ටුව විවර කළ සුදු මහතා රුපියල් පහළොස් දහසක් අතට ගත්තේ ය.

ඕක වැඩියි. ගාණ රු. 1500 යි මමිතුරා මතක් කළේය.

ඒකට කමක් නෑ. මේ කෑම ටික අපේ රටේදි කෑව නං මෙච්චරක් විතර යනව. ඒ තියා මේ අය මෙච්චර රසට කෑම හදන්ඩ කොච්චර මහන්සි වෙනව ඇද්ද? හොඳ ආහාර හොයා ගන්ඩ ඕනැ. ඒව ගබඩා කර ගන්ඩ ඕනැ. හොද කුළුබඩු වර්ග හොයා ගන්ඩ ඕනැ. සේවකයො යොදා ගන්ඩ ඕනැ. ඒ හින්ද මේ මුදලම ඒ අයට දෙන්ඩ! සුදු මහත්තයා රුපියල් පහළොස් දහස මා මිතුරා අත තැබුවේය.

මා මිතුරා රුපියල් 15000 කැෂියර් අත තැබුවේ සිංහල කෑම වේල රහ වැටුණු සුදු මහත්තයාගෙන් මෙන්න ඔයාලට ලොකු සන්තෝසමක් කියමිනි.

කෑම කඩයේ කාගේත් මුහුණු පුදුමයෙනුත් සතුටිනුත් පිරී ගියේ ය.

ඉන්පසු රියට ගොඩ වූ පිරිස යළි ගමන ඇරඹූහ.

සුදු මහත්තයා සිංහල කෑමේ රස ගුණ වර්ණනා කරන්නට පටන් ගත්තේය. මා මිතුරා හූමිටි දුන්නේය.

එහිදී දෙදෙනා අතර මෙබඳු සංවාදයක් හට ගත්තේය.

හරිම ප්‍රණීතයි! හරිම ප්‍රණීතයි! බලන්ඩ අර කොස්ඇට දාල හදල තිබුණු වෑංජනේ කොච්චර ප්‍රණීත ද කියල. අර කෙහෙල්මුව මාළුව ඊ‍ට දෙවැනි නෑ. අර කොහිල වෑංජනේ විශිෂ්ටයි. පුදුම රසයක්! මේ වගේ කෑම තියන මේ රට හරිම වාසනාවන්තයි. ඒ ඇයි අර මිනිස්සු ඒව නොකා වෙන දේවල් කෑවෙ?

ඒ ඉතිං එක් එක්කෙනාගෙ කැමැත්තනෙ

කොස් ඇට කියන්නෙ ලෝකෙ තියන ඉතාමත්ම පෝෂ්‍යදායී රසවත් කෑමක්. අර ළමයි ඒව කෑවෙ නෑනෙ. ඔයගොල්ලො දරුවන්ට ඒව දෙන්නෙ නැද්ද? ඒ අයට ඒවයෙ ගුණාගුණ කියල දෙන්නෙ නැද්ද?

නගරවල මිනිස්සු නං ඒව කන්ඩ කම්මැළි බව ඇත්ත. ඒ අය කැමති සංකර කෑමවලට. ඒක අද විලාසිතාවක් වෙලා. හැබැයි ගම්වල මිනිස්සු නං ඒව කනව. ඒව තමන්ගෙ දරුවන්ටත් දෙනව. ලෝකෙ කොහෙ වුණත් ගම්මානවලනෙ හොඳම දේවල් තියෙන්නෙ.

එහෙම නං කමක් නෑ. මේක හොඳ ආහාර තියන, ස්වභාවික සෞන්දර්යයෙන් අනූන, ආධ්‍යාත්මික සුවඳ පිරිච්ච වාසනාවන්ත රටක්. ඒ බව රටේ දරුවන්ට හොඳට කියල දෙන්ඩ ඕනැ. එතකොටනෙ ඒව අපේ දරු මුනුපුරන්ට බලාගන්ඩත් ඉතුරු වෙන්නෙ.

ඔව්. නගරබද සංකර සමාජයක් තිබුණට ගං ඇතුළෙ අපේ ජනතාව හොඳ අවබෝධයකින් ‍තමයි ජීවත් වෙන්නෙ. අපේ සියලු හොඳ දේවල් නැතිකර ගන්ඩ එපා කියල තමයි දරුවන්ට කියල දෙන්නෙ

බොහොම හොඳයි. එහෙම තමයි වෙන්ඩ ඕනැ

වේයන්ගොඩ, වටද්දර, තල්ගහහේනේ සේපාල සේනානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »